ළමා පරපුර රටේ සංවර්ධනයට හවුල් කර ගනිමු......

                   


           ළමා පරපුර රටේත්; ජාතියේත් ජීවනාලිය සේ සැලකිය හැකි ය. එයට හේතු රැසකි. අනාගතයේදී රට, ජාතිය තමා අතට පවරා ගැනීමට උරුමකම් ලත් කොටසක් වීම මෙහි ලා ප්‍රධාන වේ යැයි මම සිතමි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ ළමා පරපුරට මෙහිලා වගකීම් සම්භාරයක් දැරීමට සිදුවී ඇත. අප ජීවත් වන්නේ තවමත් දියුණු වෙමින් පවතින රටක ය. ආහාර ප්‍රශ්නය, නිවාස ප්‍රශ්නය යන බලගතු ප්‍රශ්න රැසකින් අපි වෙළී සිටිමු. අපේ දෙමව්පියන් අඩුපාඩු රැසක් මැද ජීවත් වෙන්නන් හෙයින් ශ්‍රී ලංකාවේ ළමයින් වැඩි කොටසක් නිසි අධ්‍යාපනයක් ලැබීමට නිසි සෞඛ්‍ය පහසුකම් ලැබීමට නොහැකිව ලත වන්නෝ වෙති. මන්දපෝෂණයෙන් පෙලෙන දරුවෝ අප අතර වෙති. ලැබිය යුතු මූලික අධ්‍යාපනයක්වත් නො ලබා අනුන්ට බැලමෙහෙවර කරන අප වැනි සොයුරු සොයුරියන් ද සිටින බව නොරහසකි. රටේ සංවර්ධනය පිළිබඳ කතා කිරීමේ දී මේ අය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ කොටස අත් හැර දමා අප රටත් ජාතියත් ගැන සිතන්නේ නම් එය නිශ්ඵල ප්‍රයත්නයක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ උපන් සෑම දරුවෙකුට ම ජාති භේදයකින් හෝ ආගම් භේදයකින් තොරව ලැබිය යුතු අධ්‍යාපන පහසුකම් ලබාදීම රට සංවර්ධනයේ මූලික පදනම විය යුතු ය. හැම කෙනෙක් ම ඉගෙන ගත් පිරිසක් වීම අත්‍යවශ්‍ය කරුණකි. එපමණක් නොව නිරෝගී පරපුරක් අනාගත සංවර්ධන කාර්යයෙහිලා අත්‍යවශ්‍ය ය. බුද්ධිමත් මනසක්, සවිමත් ශරීරයක් එක් වූ විට නිසි ලෙස වැඩ කිරීම ප්‍රශ්නයක් නොවේ. වැඩිහිටියන් හැකි තරම් ආදර්ශමත් වීම අනාගත රට සංවර්ධනයට සුදුසු පරපුරක් බිහිකිරීමට ඉවහල් වේ යැයි මම සිතමි. ළමා අප අපේ දෙමවුපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු කරමු.අපේ වැඩිහිටි පරපුර සෑහෙන දුරට තවමත් ළමා පරපුරට පරමාදර්ශී ලෙසට කටයුතු කරන බව පවසන්නට පුළුවන. අනාගත නායකත්වය දැරීමට හැකි පිරිසක් වීමට, විනයානුකූලව කටයුතු කරන පිරිසක් වීමට අපට හොඳින් ඉගෙන ගත හැක්කේ පාසල් මවගෙනි. අපේ රටේත් ;ජාතියේත් ආරක්ෂාව රඳා පවතින්නේ අප අතේ බව කුඩා අප හැමවිට ම සිතිය යුතු ය. රටේ ඇති ප්‍රශ්න නිසා අපට යම් යම් අඩු පාඩු සිදු වුව ද ඒවා අභිබවා නැගී සිට රටේ සංවර්ධනයට හවුල් වීමට අපි සිතට ගනිමු.

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...