මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ඇදහිලි හා විශ්වාස පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ප්‍රධාන මූලාශ්‍රය මහාවංශය යි.එහි ඇතුළත් පණ්ඩුකාභය රජුගේ කතා පුවත විග්‍රහ කර බැලීමෙන් ප්‍රාග් බෞද්ධ ඇදහිලි ක්‍රම ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ
මළවුන් පිදීම
පණ්ඩුකාභය රජු අනුරාධපුර නගරය සැලසුම් කිරීමේ දී චිත්‍රරාජ, කාලවේල, මහේජ සහ චේතිය යන යක්ෂයින් හා යක්ෂණිය සඳහා වාසස්ථාන සාදා දුන් බව මහාවංශයේ දැක්වේ. මොවුන්ගෙන් වැඩි දෙනෙකු පණ්ඩුකාභය රජුට රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ අය යි. ඔවුන්ගේ අභාවයෙන් පසු කෘතගුණ සැලකීම වශයෙන් ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට පූජනීය ස්ථාන පිහිට වූ බව මෙම තොරතුරු අනුව නිගමනය කළ හැකි ය. මළවුන් පිදීමේ සිරිත ලොව බොහෝ රටවල පැවති පුරාණ චාරිත්‍රයකි. ලංකාවේ ද මෙම චාරිත්‍රය පැවති බව පෙනේ. බෞද්ධ යුගයේ පවා මෙම චාරිත්‍රය දක්නට ලැබෙන බව "මහසෙන් රජු" මිය යාමෙන් පසු මින්නේරි දෙවියන් ලෙස පුද පූජා ලැබීම පැහැදිලි වේ .
වෘක්ෂ වන්දනාව
පණ්ඩුකාභය රජු වෛශ්‍රවණ දෙවියාගේ වාසය සඳහා නුග ගසක් ද දඩයමට අධිපති ව්‍යාධ දෙවියාගේ වාසය සඳහා තල් ගසක් ද වෙන් කර තිබේ. වෘක්ෂවලට අධිගෘහිත දෙවි දේවතාවන් ඇතැයි ද ඒ නිසා ගස්වලට අධිමානුෂික බලයක් ඇතැයි ද ඈත අතීතයේ සිට ම බොහෝ රටවල ජනතාව අතර ගුප්ත විශ්වාසයක් පැවැතුණි. ඉන්දු නිම්න සභ්‍යත්වයේ මුද්‍රාවල ද රුක් දෙවියන් වැඳීම දක්නට ලැබේ. ලංකාවේ ද වෘක්ෂ වන්දනාව පැවති අතර මෙම සංකල්පය පසුකාලීන ව බෞද්ධ චාරිත්‍රවලට ද එක් වී ඇති බව බෝධි වන්දනාවෙන් පැහැදිලි වේ.
යක්ෂ නාග හා දේව වන්දනය
ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර මෙරට ජීවත් වූ ගෝත්‍රික ජනයා අතරින් යක්ෂයන් ඇදහූ පිරිස යක්ෂ ගෝත්‍රිකයන් ලෙස ද නාගයින් ඇදහූ පිරිස නාග ගෝත්‍රිකයන් ලෙස ද දෙවියන් ඇදහූ කොටස දේව ගෝත්‍රිකයන් ලෙස ද හඳුන්වා ඇත. ලංකාවේ ආර්ය ජනාවාස පිහිට වූ පසු දේශීය ගෝත්‍රිකයන්ගේ ඇදහිලි ක්‍රම ඔවුන් විසින් දිගට ම පවත්වා ගත් බවත් ආර්යයන් අතර ද මෙම ඇදහැලි ව්‍යාප්ත වූ බවත් සිතිය හැකි ය. අතීත ඉන්දියාවේ ද යකුන්, නාගයන් හා දෙවියන් ඇදහීම පැවැති බැවින් මෙම ඇදහිලි ක්‍රම ආර්යයන්ට අලුත් දෙයක් නොවී ය. බෞද්ධ යුගයේ ද මෙම ඇදහිලි ක්‍රම පැවතුන බව පෙනේ. වර්තමානයේ පවා ඈත ගම්වල යකුන් පිදීම දක්නට ලැබේ. විවිධාකාර වූ දෙවිවරුන් ඇදහීම රට පුරා ම දක්නට ඇත. නාගයින් කෙරෙහි වර්තමානයේ පවත්නා ජනතාව තුළ ගෞරව සම්ප්‍රයුක්ත බියක් ඇත්තේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි ක්‍රමවල ප්‍රතිඵලයක් වශයෙනි.
ජෛන ආගම
උතුරු ඉන්දියාවේ බෞද්ධාගමට සමකාලීනව ජෛන ආගම ද පැවතුණි. මෙය වෙළෙන්ඳන් අතර බොහෝ සෙයින් ජනප්‍රියව පැවති බවට සාධක ලැබේ. ඒ අනුව වෙළෙන්ඳන් මඟින් ජෛනාගම හෙවත් නිගණ්ඨ ආගම ලංකාවට ද පැමිණ ඇති බව පණ්ඩුකාභය කතා පුවතින් සනාථ වේ. පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර නගරයේ උතුරු දිශාවේ ජෝතිය, ගිරි හා කුම්භාණ්ඩ යන නිගණ්ඨයින් සඳහා ආරාම සාදා දී ඇත. බෞද්ධ යුගයේ ද ලංකාවේ නිගණ්ඨ ආගම පැවති බව වලගම්බා රජු සහ ගිරි නිගණ්ඨයා සම්බන්ධ කතාවෙන් පැහැදිලි වේ.
බ්‍රාහ්මණ ආගම
උතුරු ඉන්දියාවේ මෞර්ය යුගය දක්වා ම සමාජයේ වැදගත් ස්තරය වූයේ බමුණන් ය. ලංකාව ජනාවාස කිරීමේ දී බ්‍රාහ්මණ වංශිකයන් ද මෙහි පැමිණි බවට සාධක ලැබේ. විජය සමඟ පැමිණි උපතිස්ස ඇමතිවරයා බ්‍රාහ්මණ වංශිකයෙකි. මුල්කාලීන සිංහල රජවරුන්ගේ උපදේශකයන් වූයේ බමුණන් ය. පණ්ඩුකාභය රජතුමා බමුණන්ට යාගහෝම පැවැත්වීම සඳහා සොත්ථි ශාලාවක් ද සිවිකාශාලා නමින් හැඳින් වූ දේවස්ථානයක් ලෙස සැලකිය හැකි ගොඩනැඟිල්ලක් ද ඉදි කර දුන් බව මහාවංශයේ සඳහන් වේ. පණ්ඩුකාභය කුමරුට ශිල්ප දැක්වූයේ පණ්ඩුල නමැති බ්‍රාහ්මණයෙකි. දේවානම්පියතිස්ස රජ විසින් ධර්මාශෝක රජු වෙත යවන දූත පිරිසට බ්‍රාහ්මණ වංශිකයෙක් ද ඇතුළත් විය. ධර්මාශෝක රජු ඔහුට පුරෝහිත තනතුර දුන් බව මහාවංශයේ දැක්වේ. ලංකාවේ බුදු දහම ස්ථාපිත වීමෙන් පසුව ද බ්‍රාහ්මණයන් හා ඔවුන්ගේ ඇදහිලි ක්‍රම තවදුරටත් පැවති බවට සෙල්ලිපි සාධක ලැබේ. මුල් ම යුගයේ සෙල්ලිපිවල රාම,කර්ණ,වාසුදේව,සිව වැනි පුද්ගල නාම දක්නට ලැබේ. බ්‍රාහ්මණයන්ගේ දෙවිවරුන් වූ වරුණ, ස්කන්ධ,විභීෂණ යන දෙවිවරුන් ජනතාවගෙන් පුද පූජා ලැබූ බව සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වේ.
පරිබ්‍රාජක හා ආජිවක දහම
බුද්ධ කාලයට සමගාමීව ඉන්දියාවේ පැවැති පරිබ්‍රාජක හා ආජීවක දහම ලංකාවේ ද පැවති බවට සාධක පණ්ඩුකාභය කතා පුවතේ සඳහන් වෙයි. පණ්ඩුකාභය රජතුමා පරිබ්‍රාජකයන්ට හා ආජීවකයන්ට වාසය කිරීම සඳහා ආරාම කරවා දී ඇත. භද්දකච්චානා කුමරිය ඇතුළු පිරිස ගෝකණ්ණයේ සිට අනුරාධපුරය දක්වා ගොස් ඇත්තේ පරිබ්‍රාජකයන් සේ වෙස් වලාගෙන ය. ඔවුන් එසේ කර ඇත්තේ යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් විරෝධතා එල්ල විය හැකි නිසා ඉන් ගැලවීම සඳහා විය යුතු ය. එකල ලංකාවාසී ජනතාව අතර පරිබ්‍රාජකයන්ට උසස් මට්ටමේ පිළිගැනීමක් පැවති බව ඒ අනුව තහවුරු වේ.
සූර්ය දේව වන්දනය
සොබාදහමේ ඇතැම් අංග දේවත්වයෙන් සලකා පුද පූජා කිරීම ඉපැරණි ශිෂ්ටාචාරවල පවා පැවතී ඇත. ඉන්දියාවේ ද වෛදික යුගයේ පටන් ම සූර්ය වන්දනාව පැවති බව වේද ග්‍රන්ථවල සඳහන් වේ. ඒ අනුව ලංකාවේ ද ප්‍රාග් බෞද්ධ යුගයේ හිරු පිදීම පැවති බව ඉතිහාසඥයන් විසින් පෙන්වා දී ඇත. පසුකාලීනව මේ පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක ලැබී තිබේ. පොළොන්නරුවෙන් හමු වී ඇති ලෝකඩවලින් නිමවා ඇති සූර්ය දේව ප්‍රතිමාව ඒ සඳහා නිදසුන් වේ.
බුදු දහම
ප්‍රාග් බෞද්ධ යුගයේ මෙරට ජනතාව බුදු දහම ගැන ද දැන සිටි බව සාහිත්‍ය මූලාශ්‍රවල ඇතුළත් තොරතුරු විග්‍රහ කර බැලීමෙන් නිගමනය කළ හැකි වේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළ බව මහාවංශය ඇතුළු මූලාශ කිහිපයක ම සඳහන් වී තිබීම ඉන් එක් සාධකයකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ විසූ කාලයේ තපස්සු, භල්ලුක නම් වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශධාතු නිදන්කොට ත්‍රිකුණාමලය අසල තිරියාය නම් ස්ථානයේ ගිරිහඬු සෑය ඉදි කිරීමේ පුවත දෙවන සාධකය වේ. භද්දකච්චායනා කුමරිය ඇතුළු පිරිස ශාක්‍ය වංශිකයන් වූ බැවින් ඔවුන් අනිවාර්යයෙන් ම බුදු දහම ගැන දැන සිටින්නට ඇත. එය තෙවන සාධකය යි.
බුදුදහමට සමකාලීනව ඉන්දියාවේ පැවැති ජෛන ආගම සහ ආජීවක දහම ලංකාවට පැමිණියා නම් බුදු දහම නොපැමිණීමට කිසිදු හේතුවක් නැත.
පණ්ඩුකාභය කතාවේ හෝ වෙනත් තැනක බුදු දහම පිළිබඳව සඳහන් නොකර දෙවන පෑතිස් රාජ්‍ය සමයේ ලංකාවට බුදු දහම හදුන්වා දීම උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීම මහාවංශ කතුවරයා ගේ අරමුණ වී ඇති බව පෙනේ. ප්‍රාග් බෞද්ධ යුගයේ කිසිදු ආගමක් රාජ්‍ය ආගම ලෙස විශේෂ සැලකිල්ලකට භාජනය වී නොමැති නිසා බුදුදහම ද ජනතාව අතර සෙසු ආගම් හා ඇදහිලි ක්‍රම පැවතුණු අයුරින් දීප්තියකින් තොරව පවතින්නට ඇති බව ඉහත සඳහන් කරුණු අනුව නිගමනය කළ හැකි වේ.
Comments
Post a Comment