සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....
රටක විදේශ විනිමය සපයා ගැනීමෙහි ලා වඩාත් දායක වන එක් ව්‍යාපාරයක් වන්නේ සංචාරක ව්‍යාපාරය යි. දූපත් ආශ්‍රිත රාජ්‍යයන් හා මුහුදු බඩ රාජ්‍යයන් මෙහිලා කැපී පෙනෙයි. වෙසෙසින් තෙවැනි ලොව රටවල විදේශ විනිමය සපයා ගැනීමේ ප්‍රබල ව්‍යාපාරයක් ලෙස සංචාරක ව්‍යාපාරය හැඳින්විය හැකි ය. රටක ස්වභාවික ආකර්ෂණීයත්වය හා පෞරාණික වටිනාකම් සංචාරකයින් ගෙන්වා ගැනීමට තෝතැන්නක් වේ. එවනාහි රටක් සංවර්ධනය කරා යන ගමනෙහි වඩා ඉදිරි පියවරක් වේ.විශේෂයෙන් දකුණු ආසියානු සහ බටහිර රාජ්‍යයන්හි ද සංචාරක ව්‍යාපාරය ඉතා පුළුල් ක්ෂේත්‍රයක ව්‍යාප්තව පවත්නා බව දිස් වේ.
ශ්‍රී ලංකාව ද මෙකී කාර්යයට උර දී ඇත්තා සේ ම ඉන් ලැබෙන ආදායම් ද යහපත් ප්‍රගතියක් දක්වයි.ශ්‍රී ලංකාවෙහි පවත්නා ඓතිහාසික ශ්‍රී විභූතිය මෙහි ලා වඩාත් දායක වන අයුරු දැක්නට හැකි ය.වෙසෙසින් අනුරාධපුර, පොළොන්නරුව නටබුන් සහ සීගිරියත් මහනුවර දළදා මැඳුරත් මෙහිලා ප්‍රමුඛ වේ.එමතු ද නොව ශ්‍රී ලංකාව දූපතක් වීම මෙහි ලා තවදු ලෙස ආකර්ෂණීයත්වය ගෙන දීමට හේතු කාරක වේ. අලංකෘත සයුරු තීරයත් සිංහරාජය ඇතුළු සදාහරිත වන තීරයත් සත්ත්ව සම්පතත් සපයන්නේ අනගි සහායකි.මෙකී ආකර්ෂණීයත්වය හේතු කොට ගෙන ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයේ වාර්ෂික ව උපයන ආදායම්වල වර්ධනයක් දක්නට ලැබේ. විශේෂයෙන් පසුගිය දශක තුනක් තුළ පැවැති ජනවාර්ගික අර්බුදය නිමාවට පත් වීම ද මෙහි ලා සුවිසල් ලෙස හිතකර බලපෑමක් ලැබී ඇත.
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය හරහා දියත් කෙරෙන වැඩසටහන් බොහෝ විදේශිකයන්ගේ ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත ඇද බැඳ ගැනීම උදෙසා ශ්‍රී ලාංකේය ප්‍රෞඪත්වය විදහාපාන අංග ලොව පුරා ව්‍යාප්ත කිරීමට යුහුසුලු ව ඇත. දේශීය නර්තන අංග හා වෙස් මුහුණු කලාව ඇතුළු කැටයම් ශිල්පයත් අත් කර්මාන්ත හා දේශීය නිර්මාණ කලාවත් ශ්‍රී ලාංකේය සංස්කෘතිකාංග හා මිනිසුන් සතුව පවත්නා ආගන්තුක සත්කාරයන්හි විශේෂත්වයත් මෙහි ලා සපයන්නේ අනගි සේවයකි.එසේ ම යුද්ධ පැවති සමයෙහි මුදාගත් ප්‍රදේශවල පාරිසරික අලංකෘත බව වර්ධනය හා හික්කඩුව,උණවටුන වැනි වෙරළ තීර මතු නො ව ආරුගම්බේ වැනි වෙරළාශ්‍රිත ප්‍රදේශ ජනප්‍රිය කරවීමට දරා ඇති දායකත්වය අගය කළ යුතු ය.
සිංහරාජය වැනි ලෝක උරුමයන් සහිත සදාහරිත වන රක්ෂිතයන් ආරක්ෂා කිරීමත් යාල,කුමන වැනි අභයභූමි ආරක්ෂා කිරීමත් මෙහි ලා වෙසෙස් තැනක් දරයි.එසේ ම දිය ඇලි, උයන් වැනි ස්ථාන ජනප්‍රිය කරවීමත් මේ අතර වැදගත් වූවකි. මෙවන් වූ ස්ථාන දැක බලා ගැනීමට ලොව සිටින ජනී ජනයා රොද බැඳ එන අයුරු වර්තමානයෙහි දක්නට හැකි ය.ශ්‍රී ලංකාවෙහි පවත්නා අලංකෘත බව මතු නො ව දේශගුණික සමතුලිත බව ද මෙහි දී වඩාත් දායක වේ.විදේශයන්හි පවත්නා ග්‍රීෂ්ම හා සීත සෘතුවල විදේශිකයන් මෙරටට බොහෝ සෙයින් පැමිණෙනු දක්නට හැකි වේ.වෙනත් ජාතියක නොමැති ශ්‍රී ලාංකිකයා සතු ආගන්තුක සත්කාරයෙහි පවත්නා උද්‍යෝගය සේ ම අවම වශයෙන් සිනහවකින් හෝ වේවා සංග්‍රහශීලී බව විදේශිකයා මවිතයට පත් කරන සුළු ය.එසේ ම දින දින ඉදිවන මංමාවත් හා නගර අලංකරණ ව්‍යාපෘති ද මෙහිලා හේතුකාරක වී ඇත. සංචාරක හෝටල් ආශ්‍රිත ක්‍රමික බවත් දේශීයත්වයට තැන දෙමින් ගොඩනගා ඇති අලංකරණ ක්‍රියාදාමයන් ද මෙහි ලා හේතුභූත වී ඇත.එමෙන් ම සංචාරක කර්මාන්තය නිසා සිදුවන තවදු හිතකර බලපෑමක් වනුයේ මෙයින් විවෘත වන අතුරු රැකියා මාර්ගයන් ය.හෝටල් ආශ්‍රිත ව ගොඩනැඟී ඇති සෘජු රැකියා සේ ම ඒ වටා ගොඩනැඟී ඇති අතුරු රැකියාවන් ද බොහෝ ය.මෙවන් වූ සාමූහික එකතුවෙහි ප්‍රතිඵල මෙරට සංචාරක ව්‍යාපාරයෙහි මහත් ප්‍රගතියක් ඇති කිරීමෙහි ලා දායකත්වය සපයා දී ඇත.
එනමුත් මේ ව්‍යාපාරය නිසා විවිධ ගැටලුවලට ද ලාංකිකයෝ මුහුණ දී සිටිති. සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසෙකින් මෙරට සංස්කෘතික ඛාදනයට ද හේතුකාරකයක් ව ඇත. මොවුන්ගේ ඇඳුමෙහි සිට ලිංගික අවශ්‍යතාව දක්වා මෙය ව්‍යාප්ත ව ඇත.වෙසෙසින් තංගල්ල මුහුදු තීරයේ සිට හලාවත, පුත්තලම මුහුදු තීරය දක්වා ලිංගික පාරාදීසයක් ව පවත්නා බව සමීක්ෂණ මඟින් හෙළි වී ඇත.මෙකී ආකර්ෂණීයත්වය මත ද විදේශිකයින් ඇදී ඒම මෙරට සංස්කෘතියට හා සභ්‍යත්වයට සිදුවන්නේ දැඩි අහිතකර බලපෑමකි. බහුභාණ්ඩික සමාජයක් ගොඩනැඟීමත්, බටහිරකරණය තීව්‍ර වීමත්, බටහිර අසභ්‍ය දෑ ව්‍යාප්ත වීමත් ඒ හා සමගාමී ව සමාජ රෝගවල වර්ධනයත් මෙරට ජනයා මුහුණ දෙන භයානක ගැටලු බවට පත්ව ඇත.ඒ වනාහි සංචාරක කර්මාන්තය නිසා සිදුවන අහිතකර බලපෑමකි.එමතු ද නොව විවෘත ආර්ථිකය හා සමගාමී ව මෙරට ළමුන් පිට රටට විකිණීමේ සංසිද්ධි ද දක්නට හැකි ය.මුදලට රැවටී සමස්ත ජීවිතය ම ආගාධයට පත් වන අවස්ථා දක්නට හැකි අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය කෙරෙහි ද සංචාරක ව්‍යාපාරය පසෙකින් හේතු වේ.
2019 වර්ෂයේ දී ඇති වූ "covid 19" වසංගත තත්වය හේතුවෙන් අප රටෙහි සංචාරක කර්මාන්තය බොහෝ ලෙස අඩාල වීමක් දක්නට ලැබිණි. රටෙහි විදේශ විනිමය සපයා ගැනීම සඳහා වඩාත් දායක වන ව්‍යාපාරයක් වශයෙන් සලකන සංචාරක ව්‍යාපාරයේ අඩාල වීම මෙරට ආර්ථිකයට බොහෝ සෙයින් තර්ජනයක් එල්ල විය.මෙම වසංගත තත්ත්වය රටෙන් කෙමෙන් කෙමෙන් තුරන් වී යන විට වර්තමානයේ දී සංචාරක කර්මාන්තය නැවත ස්ථාවර තත්ත්වයකට පැමිණෙමින් පවතී යි.
මේ හෙයින් රටක සංචාරක ව්‍යාපාරය ගොඩනඟීමේ දී එහි ලා ක්‍රමවත් පිළිවෙතක් තිබිය යුතු ය.රටෙහි අනන්‍යතාවත් සංස්කෘතිය හා සභ්‍යත්වයට හානි නොවන අයුරින් එය පවත්වා ගැනීමට රජය සේ ම එකී ව්‍යාපාරයන්හි නියුක්ත වූවන්ගේ ද වගකීමකි.නො එසේ නම් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වුව ද මෙකී ව්‍යාපාරය හේතු කොට ගෙන අනෙක් පසින් සංස්කෘතික ඛාදනයකට ලක් වීමේ ඉඩ ප්‍රස්ථා මෙවන් ව්‍යාපාරයක බොහෝ සෙයින් වැඩි ය.මෙකී කරුණු සලකා බලමින් අනාගතයෙහි සුබවාදී රටක් සහ සංචාරක ව්‍යාපාරයක් ගොඩනැඟීමට උරදීම අප රට යහ සංවර්ධනය කරා යන ගමනෙහි වඩා ඉදිරි පියවරක් සනිටුහන් කරන්නක් වනු ඇත.

සංචාරයට බොහෝ රටවල ආකර්ෂණය දිනාගත් සුන්දරම තැනකි ලංකාව.🥺
ReplyDelete