නියඟය ඉවරයි.......
ගස්වැල් කොළ හැලී ඇත. ගස්වැල් පාමුල ඒ සියලු කොළ හා මල් වැතිර සිටියි. අහස දෙසට දෙඅත් දෙස් දෙවොල් තබන්නාක් මෙන් වියළි ගස්වල අතු ඉති ඉකිබිඳි යි. පොළොව පැලී ඉරි තලා ඇත.වියළි කටුක සුළං ඈතට ඇදගෙන යයි. අව්කට්ටේ ගිනියමින් මුළු පරිසරය ම ගිනියම් වී ඇත.
අව්රශ්මිය වෙනුවට අඳුර පරිසරය වසා ගනී. අහස බිය ගෙන දෙන අන්දමින් ගොරවන්නට විය. විදුලි කෙටුණි.ගිනියම් වී ඉරි තැලුණු මහී කාන්තාව කට ආයාගෙන ඉහළ බලා සිටියි.කවුරුත් සතුටු කඳුළු වඟුරුවන්ට වූහ. "අදවත් වැස්සොත්" කාගෙත් එක්ක ම ප්‍රාර්ථනය විය.
මාස ගණනාවක් මුළු ගම්මානය ම අරක් ගෙන සිටි නියං රකුසාට ඉන්න හිටින්න තැන් නැති වන තත්ත්වය උදාවනු දැකීම ඉතා ප්‍රියජනක දසුනකි. මුළු දවස පුරා ම ගුවන අරා පැතිර ඇත්තේ කළු වැහි බර වූ වළාකුළු ය. ඉඳහිට මහී කාන්තාවට ඇද හැලෙන සිහින් ජල බිඳු සොවින් පලා යන නියං රකුසාගේ දුක් මුසු කඳුළු සේ ය. නියඟය නැමැති රකුසා අරක්ගෙන සිටි මුළු ගම්මානයට ම වර්ෂාව නැමැති දේව දූතිය පැමිණ සිටියි.
නොකඩවා ම පැය ගණන් දින ගණන් මහ වරුසා ඇද හැලෙන්නට විය. වතුපිටි ගොඩමඩ හැම තැනක ම ජල පිපාසය සංසිඳවාගෙන හැම තැනක ම වැසි දිය ගලා එයි. පුංචි තිත්ත පැටව් කරනම් ගසමින් ඇළදොළවලට පැන පීනති. ගොවියෝ හිසේ මලක් පිපුණාක් මෙන් දැඩි සතුටකින් පසුවෙති. ඔවුහු ලහි ලහියේ වගා කටයුතු කිරීමට පටන් ගනිති. ටික කලකින් මුළු ගමට ම සෞභාග්‍යය උදා වනු නො අනුමාන ය. වගා සරු වූ විට ගමට එය අරුමයක් නොවේ.

Comments
Post a Comment