බුදුදහම සමඟ විද්‍යාව, තාක්ෂණය සහ කාර්මීකරණය.....
බුදුදහම සියලු සත්වයන්ගේ පෞද්ගලික මෙන් ම සමාජගත දුක් පිළිබඳ විග්‍රහයක් හා විසඳුමක් වශයෙන් හඳුන්වනු ලැබේ. " මහණෙනි, මම දුකත් දුක නැති කිරීම යන කරුණු දෙක උගන්වමි"යි බුදුරජාණන් වහන්සේ විසින් ම වදාරා ඇත්තේ එහෙයිනි. චතුරාර්ය සත්‍යයෙන් ඉදිරිපත් වන්නේ ද පූර්වෝක්ත කරුණ ම ය. මෙහිදී පුද්ගලයාගේ සන්තානගත දුක හෙවත් සසර දුක පමණක් නොව සමාජගත දුක පිළිබඳව ද උද්යෝගය දක්වා තිබීම වැදගත් වෙයි.
සත්වයාගේ සසර දුක පිළිබඳ විග්රහයෙහි දී සහ විසඳුමේ දී බුදුසමය අසහාය බව පිළිගත යුතු ව තිබේ. සංසාරය පිළිබඳ යථා තත්ත්වය බුදුසමයෙහි තරම් මැනවින් විවරණය කරන වෙනත් දහමක් ගැන සිතිය නොහැකි තරම් ය.සංසාර දුකෙහි මහා නිදානය තෘෂ්ණාව බව පැහැදිලි කර එම තෘෂ්ණාව සමූලෝත්පාටනය කරන නිරාකුල ප්‍රතිපදා මාර්ගය බුදුසමයෙහි නිර්දේශ කර තිබේ .
සමාජ දුක පිළිබඳ සාකච්ඡාවේ දී නූතන මිනිසා හමුවෙහි බුදුසමය සමඟ එක්වන තවත් ආකර්ෂණීය මාර්ගයක් ලෙස විද්‍යාව දැක්විය හැකි ය. ලෝකය පිළිබඳ ඉන්ද්‍රීය ගෝචර සාධක විග්රහාත්මක ව අධ්‍යනය කිරීම මඟින් විද්‍යාව මිනිසා හමුවේ දැනුම් සම්භාරයක් ඉදිරිපත් කරයි. මෙම දැනුම් සම්භාරය පදනම් කරගෙන මිනිස් දුක අඩු කිරීමේ ප්රයත්නයක් වශයෙන් තාක්ෂණය බිහි වෙයි. මිනිසුන්ගේ භෞතික පරිසරය වඩාත් සුව පහසු එකක් බවට පත්කර යන්ත්‍ර සූත්‍ර බිහිකර ජීවිතය පහසු කරන්නේ තාක්ෂණය මඟිනි. කාර්මීකරණය ද තාක්ෂණික ඥානය හේතුවෙන් සිදු වන්නකි. මිනිසුන්ගේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කිරීම සඳහා කර්මාන්තශාලා ඇති කරමින් සමාජයක් කෘෂිකාර්මික ස්වරූපයේ සිට කාර්මික ස්වරූපයට පත්වීම සමාජ විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන්නේ කාර්මීකරණය නමිනි. කාර්මීකරණයෙහි අනිවාර්ය ලක්ෂණ වශයෙන් මිනිස්සු කර්මාන්තශාලා අසල වාසයට පැමිණෙති. එහෙයින් නාගරික ජීවිතයක් හා ජනගහනය විපුල්ත්වයක් ද ඇති වෙයි. තමන්ගේ ම ආදායමක් ලැබීම වෙනුවට ස්වාමි පක්ෂය වෙතින් වැටුපක් ලබා ජීවත්වීමේ ක්‍රමයට මිනිස්සු හුරු වෙති.
විද්‍යාව, තාක්ෂණය හා කාර්මීකරණය එකිනෙකා අත්වැල් බැඳ ගනිමින් වර්තමාන මිනිසුන් වෙත සම්ප්‍රාප්ත වී ඇත්තේ වෙනත් සියලු දේට වැඩි බලපෑමක් ඔවුන්ගේ ජීවිත වෙත ඇති කරමිනි.ආගම හා සාම්ප්‍රදායික ඥානය විද්‍යාව සමඟ ගළපා ගන්නට බැරි වන විට විද්‍යාවේ පැත්ත ගැනීම නූතන මිනිසාගේ සිරිතයි. භෞතික විද්‍යාව ඉන්ද්රිය ගෝචර දත්ත මත රඳා පවතිනා නිසා සත්‍ය ලෙස පිළිගන්නා ඔහු අධිභෞතික විද්‍යාව ( ඉන්ද්රිය ගෝචර නොවන දේ පිළිබඳ සංකල්ප) අර්ථශූන්‍ය වෙතැයි පවසති. තාක්ෂණය ආශිර්වාදයක් සේ ගනිමින් කාර්මීකරණය මඟින් පහසු මිලට බොහෝ භාණ්ඩ ලබාදීම තුළින් ජීවිතයේ ඇතිවන ගුණාත්මක වර්ධනය අගය කරති. මෙහි තේරුම මේ හැම එකක්ම අනිවාර්යයෙන් ම යහපත් බව නොවේ. නූතන මිනිසා ඒවායේ ඇති උපයෝගාත්මකභාවය හේතුවෙන් ඒවාට දැඩි අගයක් පිරිනමන බව ය. විද්‍යාව, තාක්ෂණය හා කාර්මීකරණය රජයන සමාජයක් තුළ සාම්ප්‍රදායික ආගම් බලවත් අභියෝගයකට මුහුණ පා සිටින බව පෙනේ. ඊට හේතුව බොහෝ ආගම්වල විශ්වාස පාරභෞතික වීම හා ග්‍රාමීය ජීවිත රටාවන් මත රැඳ වූ සාරධර්ම(values )හා ප්‍රතිමාන(norms) යෝජනා කිරීම ය. බුදුසමය සම්බන්ධයෙන් මෙම කරුණ බලපාන්නේ කෙසේ ද?
බුදුදහම ආකල්ප විසින් විද්‍යාව සමඟ බෙහෙවින් සමීප වන බව මෙහිදී මුලින් ම සටහන් කර ගත යුතුව පවතී. පරම්පරාගත කරුණු හුදු අමූලික ශ්‍රද්ධාවෙන් පිළිගැනීම බුදුසමයෙහි අනුමත නොවේ. පරම්පරාගත ඥානය යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් විධිමත් නිරාකුල චින්තනයෙන් පරීක්ෂා කර බැලීම බෞද්ධ ක්‍රමය යි. පූර්ව විනිශ්චයන් ගෙන් තොරව තමන් විසින් ම දැන දැක (ජාතං පස්සං) තහවුරු කරගන්නා දේ (සයං අභිඤ්ඤා සචිඡිකත්වා) පමණක් සත්‍ය වශයෙන් ප්‍රතිජනනය කරන බුදුදහම විමර්ශනය හා පරීක්ෂණය දිරිගන්වයි. එහෙයින් විද්‍යාවෙහි ඉදිරි ගමනට බුදුදහම බාධාවක් නොවේ. වයින් හයිසන්බර්ග් නම් විද්‍යාඥයා පවසා ඇත්තේ ජපානයේ විද්‍යාත්මක ගවේෂණ මෙතරම් උසස් මට්ටමින් සිදුවීමට හේතුවූයේ බුදුදහම ඒවාට බාධා නොකිරීම බවයි. එමෙන් ම විද්‍යාව ද බුදුදහමට බාධාවක් නොවන්නේ බුදුදහමෙහි එන බොහෝ ඉගැන්වීම් විද්‍යාත්මක චින්තනය හමුවේ වඩාත් පැහැදිලිව අවබෝධ වන හෙයිනි. "බුදුදහම විවෘත වූයේ ම බබළයි. සැඟවනු ලැබ නො බබළයි " යන පැරණි බෞද්ධ කියුම පරිද්දෙන් ම විද්‍යාත්මක ලෙස විග්රහ- විවරණ කරමින් කළ හැකි ඉගැන්වීම් විශාල ප්‍රමාණයක් බුදු දහමේ එයි. විද්‍යාව විසින් හෝ තර්කය විසින් හසුකර ගත නොහැකි දෙයක් වශයෙන් බුදුදහමෙහි දැක්විය හැක්කේ නිර්වාණය පමණි. එය තර්කයෙන් බැසගත නොහැක්කකි. විද්‍යාවෙහි පරීක්ෂණ ක්‍රම ඉක්මවා පවත්නා නිර්වාණය සියලු භෞතික ධර්ම සමතික්‍රමණය කොට පවතින්නකි. එහෙත් එය දෙවියන් වහන්සේ මෙන් ලෝකෝත්තර ව පවතිමින් ලෞකික ජීවිතයට බලපාන පදාර්ථයක් නොව සියලු භෞතික ලෝකයෙහි නිරෝධය යි. එහෙයින් එය වෙනත් ආගම්වල පාරභෞතික සංකල්පවලට වඩා වෙනස් බව කිව යුතු ය.භෞතික ලෝකයේ නියාමයෙන් විග්රහ කර විද්‍යාව ම ඒ සම්බන්ධ කිව යුතු කිවහැකි කිසිවක් තිබිය නොහේ. එය විද්‍යාවේ ක්ෂේත්රය කෙරෙහි බලපෑම් කිරීමේ යෙදෙන්නන් නොවන හෙයිනි.
නිර්වාණය හැරෙන්නට ඉන්ද්රිය ගෝචර ලෝකයේ ස්වභාවය සම්බන්ධයෙන් බුදුසමයෙන් ඉදිරිපත් කරන ඉගැන්වීම් සමූහය විද්‍යාවන්ට ද පොදු ක්ෂේත්රයෙහි රැඳෙයි. හේතුඵල සම්බන්ධය පිළිබඳ බෞද්ධ මතය වූ පටිච්චසමුප්පාදය මීට හොඳ නිදසුනකි.එයින් ඉදිරිපත් කෙරෙන්නේ ලොව පවත්නා ඉන්ද්‍රීය ගෝචර වස්තූන් ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතා පිළිබඳ සාපේක්ෂකත්වය යි. ඒක හේතු -ඒක ඵලවාදය වෙනුවට ප්‍රත්‍ය සමග්රිය පදනම් කරගත් ඉදප්පච්චයතාව නම් වූ ගැඹුරු සංකල්පය බුදු සමයෙහි ඉගැන්වෙයි. එම සංකල්පයෙහි විද්‍යාත්මක බව අවිවාදනීය වේ. එමෙන් ම සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම දිනෙන් දින වඩාත් ඔප් නැංවෙන්නේ විද්‍යාවේ ප්‍රගතිය මගින් ම ය. ආත්මයට දැක්විය හැකි සනාතන අවිපරිණාමි, පරිපූර්ණ පදාර්ථයක් ලෞකික කිසිවක් නොමැති බව ද විද්‍යාව විසින් සනාථ කර ඇත. සියල්ල දුක් බව විද්‍යාව විසින් ප්‍රකාශ නොකළ ද බොරු කළ නොහැකි . විද්‍යාත්මක චින්තන ක්‍රමය ගරු කරන දාර්ශනිකයෝ මිනිසාගේ ජීවිතයෙහි ඇති නිසරු බව අතෘප්තිදායක බව පසක් කර සිටිති. එහෙයින් විද්‍යාව සමඟ සතුරු වන්නට බුදුදහමට අවශ්‍යතාවක් නොමැත. එය විද්‍යාවට වඩා විද්‍යාත්මක වූ දහමක් සේ හැඳින්විය හැක්කේ අන්ධ භක්තිය රජ කළ යුගයක විද්‍යාත්මක ආකල්පය රජ කරවන්නටත් සනාතන සත්‍යයන් ප්‍රකට කරන්නටත් සමත් වූ හෙයිනි. ඒ තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානයෙන් බෞද්ධයනට ලැබුණු අමූල්‍ය අනුපම ධර්ම දායාදය බව කිව හැකි ය.
විද්‍යාව පදනම් කරගෙන වැඩුණු තාක්ෂණය හා කාර්මීකරණය නිසා මිනිසුනට බොහෝ යහපත සිදු වී තිබීම සම්බන්ධයෙන් බුදු දහමට අනුව ප්‍රීති විය හැකි බව ද කිව යුතු ය. බුදුදහමේ ඉගැන්වෙන "ශිල්පී ඥානය මංගලයකි. පතිරූප දේශ වාසය මංගලයකි" වැනි ඉගැන්වීමක් ඇසුරෙන් එසේ කිව හැකි නමුදු නූතන විද්‍යාඥයින් හා තාක්ෂණිකයන් විසින් ලෝකයට උදාකර ඇති භයානක තර්ජන හා කාර්මීකරණයේ ප්‍රතිඵල වශයෙන් උදාව ඇති සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් බෞද්ධයන්ට ප්‍රීති විය නොහැකි ය.බුදුදහම උගන්වන්නේ ඥානය නිරතුරුව ම කාරුණිකව භාවිත කළ යුත්තක් බව ය. මිනිසුන් ප්‍රඥාවන්තයන් මෙන් ම කරුණාවන්තයන් ද විය යුතු ය. විද්‍යාඥයන් තම නුවණ යොදවා නිර්මාණය කර ඇති ඇතැම් නිශ්පාදන අද මානව වර්ගයාගේ විනාශය ඉක්මන් කරන්නට හේතුභූත වී තිබේ. මෙබඳු අවාසනාවන්ත ඉරණමකට මිනිසා මුහුණ පා ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය සාරධර්මවලින් තොරව භාවිතයේ යොදවා ඇති හෙයිනි. විද්‍යාව නම් සාරධර්මවලින් තොරව කේවල භාවිතයේ යොදවා ඇති හෙයිනි. විද්‍යා නම් සාරධර්මවලින් තොරව තනිව ශාස්ත්‍රීය විලාසයෙන් ම පැවැත්විය යුත්තක් බව විද්‍යාඥයෝ සිතූහ. එහෙයින් ඔවුන් අතින් සිදු වී ඇති විනාශය බරපතළ ය. සිදුවන්නට ඇති අනාගත විනාශය වළක්වා ගන්නට නම් විද්‍යාඥයින් හා නිෂ්පාදකයන් ඉක්මනින් ම සාරධර්ම කෙරේ සිත යොමු කළ යුතු ව තිබේ.
විද්‍යාඥයන් සාරධර්ම ප්‍රතික්ෂේප කළේ ඔවුන් හමුවේ පැවති සාම්ප්‍රදායික ආගම්වල සාරධර්ම පාරභෞතික සංකල්පයක් වූ මැවුම්කරු විසින් පැණ වූ නියමයන් හා සම්බන්ධ කර තිබුණු හෙයිනි. ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂයන් මත රැඳ වූ මානවවාදී ආචාර ධර්මයන් ඔවුනට ප්‍රිය විය හැකිව තිබුණ නමුත් මැවුම්කරු පිළිබඳ මිත්‍යා සංකල්පය ප්‍රතික්ෂේප වන සමඟ ම ආචාර ධර්ම ද ප්‍රතික්ෂේප වෙතැයි සිතූ හෙයින්දෝ ඔවූහු මානව භක්තියෙන් තොරව විනාශකාරී ලෙස ක්‍රියා කළහ. එහි ප්‍රතිඵල අතිශයින් ම අනර්ථදායක වූ බව පැහැදිලි කරුණකි.බුදු දහම තම ආචාර ධර්ම තහවුරු කරන්නේ පාරභෞතික සංකල්ප ගෙනහැර පාමින් නොවේ.මානව වාදයට වඩා පුළුල් වූ ජීව හිතවාදයක් මත ලෝකයේ සකල ජීව වර්ගයා ම ජීවත්වීමට කැමති බව හා මරණයට දඬුවමට අකමැති බව දක්වමින් තමා ජීවියකු වශයෙන් තමාට වෙනත් අය කරනවාට අකමැති කිසිවක් තමන් අන් අයට නො කිරීම මඟින් සමස්ත ජීව සංහතියට ම නිර්භයව සතුටින් විසිය හැකි තත්ත්වයක් උදා කරනට බුදුසමය වෑයම් කරයි. විද්‍යාඥයන්ට මෙම පදනම පිළිගැනීමෙහිලා බාධාවක් ඇතිවිය නොහැකි ය. ආගමික පක්ෂපාතීත්වයක් එහිලා අවශ්‍ය නොවේ. එසේ වුව ද විද්‍යාඥයාට ගැළපෙන ආගම බුදුදහම බව පැවසීමෙහිලා අපට පැකිලෙන්නට කිසිදු හේතුවක් නොමැත.
ආදර්ශමත් ලිපියක්.😍
ReplyDeleteවටිනා ලිපියක් 👍
ReplyDelete