පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී...



      

                 පිතෘත්වය වනාහි මේ විශ්ව ධාතුවෙහි අනගිභවනීය සෙනෙහසකි. මව් පැදවිය හා සරි සමාන තලයක පිහිටන පිය සෙනෙහස දාරක ස්නේහය මූර්තිමත් කරන අගනා වස්තුවකි. මව්වරුන් තරමට ම කතා නොකරන පිය සෙනෙහස සැබැවින් ම අගය කළ යුතු මාතෘකාවක්‌ ව ඇත. ලෝක මව්වරුන්ගේ දිනයක් නම් කර ඇත ද පියවරුන්ට වෙන් වූ දිනයක් නොමැති වීම සෝචනීය කරුණකි. එසේ ම "අම්මා බුදු වේවා!" යනුවෙන් නිතොර පවසන අතර ගෙදර බුදුන් අම්මා යනුවෙන් පැවසුව ද පිය පදවියට එවන් තැනක් අහිමි වීම ද කනගාටුදායක ය.


අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී

ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි

රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී

පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී


සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ

කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ

මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ

පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ


මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ

මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ

පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ

අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ....


             පවුල් ඒකකය එකට බැඳ තබන මූලිකයා වන්නේ පියා ය.පිය හිරුටත් මව් සඳුටත් උපමා කිරීමට පෙළඹී ඇත්තේ ද පිය පාර්ශවයෙහි මහත්වය හා ඔහු විසින් පවුල් ඒකකයට ලබා දෙන ශක්ති මහිමය හේතුවෙනි. පවුල නැමැති ඒකකයෙහි පිය භූමිකාව වෙසෙසා වැදගත් වූවකි. දරුවන්ට සෙනෙහෙබර පියකු ලෙස ද බිරිඳට සෙනෙහෙබර සැමියකු ලෙස ද කටයුතු කරන පිය පාර්ශවය පවුල් සංස්ථාවෙහි මූලිකයා වෙයි. එවනාහි කෑමෙන් බීමෙන් සන්තර්පණය වූ පවුල් ඒකකයක් තැනීම ම නොව එයින් එහාට ගිය වගකීම් සමුදායක එකතුවක්‌ ලෙස පියා හැඳින්විය හැකි ය. එතැන්හි වගකීම හා සමඟ බැඳෙන යුතුකම් ද ආරක්ෂාව ද පිය කෙරෙහි නිතැතින් ම අපේක්ෂිත ගුණාංගයෝ වෙති.

                       එමතු ද නොව දරුවන්ගේ සිතුම් පැතුම් තෝරා ගනිමින් ඔවුන්ගේ රුචිඅරුචිකම් සන්තර්පණය කිරීමට බරපැනින් ද බොහෝ විට සහාය වන්නේ පියා ය.පාසල් යන ළමුන් සිටින පියවරුන්ට දරුවන් සම්පතක් සේ ම වගකීම් සමුදායක බැඳීමකි. ඔවුනගේ අධ්‍යාපනය ඇතුළු සමස්තය රැඳී පවතින්නේ තමා වටකොට ය. තම ශක්ති ප්‍රමාණය හීන වුවහොත් එය සුතනඹුවන්ට කෙතෙක් බලපාන්නේ දැයි පියා වටහා ගත යුතු ය.ඒ අනුව ක්‍රියා කළ යුතු ය. නො එසේ නම් පසු කලෙක පිය පුතු ගැටුම් ඇති වීමට හේතු කාරක වන්නේ ද මෙබඳු ම සංසිද්ධි ය. පියවරුන් දරුවන්ගේ අවශ්‍යතාවන් හා රුචිඅරුචිකම් හඳුනා ගත යුතු ය. සිංහබාහු නාටකයේ සිංහයාගේ චරිතයෙන් විද්‍යමාන වන්නේ ද එවන් සෙනෙහෙබර පියෙකි. එසේ වුව ද එකී පියාට ජව සම්පන්න තාරුණ්‍යයෙන් හෙබි සිය පුතුගේ ඕනෑ එපාකම් අවබෝධ කොට ගැන්මට අවකාශයක් නොහේ. මෙහි ප්‍රතිඵලය ද සෝචනීය වන්නේ එහෙයිනි.

                  කුඩා කල දූවරුන් පියාට වඩාත් ආශාක්ත වීමත් පුතුන් මව්වරුන්ට ඇලුම් කිරීමත් ස්වභාවික ය. ඊඩිපස් සංකීර්ණය හමුවේ මෙය සාමන්‍ය සංසිද්ධියක් වුව ද පියා නිතොර දරුවන්ට සම සිතින් කටයුතු කළ යුතු වන්නේ ය.චිරන්තන සාහිත්‍යයේ ද පවුල් ඒකකයක් දරා සිටින පිය භූමිකාව පිළිබඳ මයූර සංදේශ කවියා සොබාදහම් වැනුමකින් මෙසේ වර්ණනා කරයි.

තුරු හිමියන් ලිය ලිය වළඳමි        නි

සාමුව දරු වඩමින් සා ඇති            නි

බ්ඟු සන් සුරතල් බස් මල් මුවෙ    නි

කියමින් නළවන වැනි ළෙලවමි     නි

                 ගස් නැමැති පියා වඳුරන් නැමැති දරුවන් වඩාගෙන මල් නැමැති මුවින් බිඟුන්ගේ නාදය නැමැති නැළවිලි ගී ගයන්නාක් බඳු යැයි කවීශ්වර පවසයි. කෙසේ වුව ද මෙතරම් වටිනාකමකින් සපිරි පියවරුන් පිළිබඳ මව්වරුන් තරමට ම කතිකා නොකිරීමත් කව් ගී නොලියවීමත් සෝචනීය කරුණකි. පසුගිය වකවානුවෙහි රචිත සෝමතිලක ජයමහ විසින් ගැයුණු තවත් එබඳු ම පවුල් ඒකකයක් මවා ලූ ගීයක් ලෙස මතු සඳහන් පදවැල දක්වනු නිසි ය.

 පොඩි දුවගේ සිනා වැලයි

 පොඩි පුතුගේ කතා පෙළයි

 පිය බිරිඳගේ සෙනෙහෙ විලයි

 මගේ නිවන මගේ පැල්පතය

           පියකු සිය අඹු දරුවන් කෙරෙහි කෙසේ නම් සිතා සිටින්නේ ද යන වග මෙයින් නිරූපනය වේ. එසේ ම පියකුගේ ගුණ මහිමය කෙතරම් ද යන වග මවකගේ දෘෂ්ටියෙන් රචිත මතු සඳහන් ගීතයෙන් ද පිතෘත්වයේ මහිමය ව්‍යංගයෙන් කියා පායි.

 රුක් අත්තන මල මුදුනේ

 බඹරු නටන හැන්දෑවේ

 සැඳෑ අඳුර පියමං කර

 කවුරු ද එන්නේ

 පුතුනි බලන් යොමා නුවන්

 කවුරු ද එන්නේ...

           පවුල් බර දත් පියකු හිමිදිරියේ පිබිද රැකියාව සඳහා පිටමං  කිරීමත් හැන්දෑවෙහි වෙහෙස මහන්සි ව පැමිණෙන ආකාරයක් මව විසින් සිය දරුවන් අමතා පවසනු ලබන අවස්ථාවක් මෙයින් නිරූපණය වෙයි. එසේ ම දරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් ද පියා විෂයයෙහි පවත්නා ගෞරවාන්විත බව ප්‍රකාශමාන  කරන ගීත ද තැන තැන දක්නට හැකි ය.මතු දැක්වෙනුයේ ද එබන්දකි.

මිදුලේ වැලි මාලිගාවෙ

සක්විති පදවිය ලබන්න

ගල් වැට ළඟ වාඩි වෙලා

හඳ පායන හැටි බලන්න

සතර දිසා ජයගෙන මම හනික එමි

ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමි

                  පියකු දරුවකුට කෙතරම් මහත්වයක්‌ ද යන්නත් පසු කලෙක තමන් ද වැඩිහිටියකු වූ පසු පියතුමන් ව රකින බව මෙයින් ධ්වනිත වේ. ගී පද වැල් සේ ම කාව්‍ය රචනයෙහි ද පියතුමන්ගේ අගය වර්ණනා කෙරෙන නිර්මාණ දැකගත හැකි ය. මහාචාර්ය විමල් දිසානායකයන්ගේ "පීතෘත්වය" නැමැති නිර්මාණය ද මෙහිලා දැක්විය හැකි ය.පියා නාගල කන්දට සමාන කරමින් පියකු සතු ස්මරණය මෙනෙහි කරන ආකාරය මෙයින් ප්‍රතීත වේ.

නාගල කන්දෙන් හෙණ හඬ නැගී අහස දෙදරන විට

දිව ගොස් මම එකල වැළඳ ගතිමි තාත්තා හනිකට

ඔහුගේ ඇකයේ උණුහුම දැනුදු දැනෙනවා මා හට

මේ සති අන්තයේ කෙලෙසින් හෝ මා යා යුතුය ගමට

                           පියකුගේ අගය වඩාත් පුද්ගලයකුට දැනෙන්නේ තමන් ද පියකු වූ පසුව ය. කුඩා කල පියාට වඩා අනර්ඝ තවදු පුද්ගලයකු නොමැති අතර තරුණ වියට එළඹීමත් ම පියා කිසිවක් නොදන්නා බව හැඟේ. තමන් ද පියකු වූ පසු තාත්තගෙන් ද යමක් අසා ක්‍රියා කළ යුතු ය යන ආකල්පය ඇති වේ. එය යාවත්කාලීන වූවකි. කෙසේ වුව ද මෙතරම් අනගිභවනීය පීතෘ ස්නේහය පිළිබඳ මාතෘත්වය තරමට ම කව් ගී නො ලිය වී ඇති අතර එකී වස්තු විෂය අරබයා නිර්මාණාවලියක් බිහි වීමේ අවශ්‍යතාව මතු ව ඇත. 


Comments

  1. මව් සෙනෙහසට නොදෙවෙනි උතුම් සෙනෙහසකි පිය සෙනෙහස. ❤️🥺🌍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...