කෝට්ටේ යුගයේ මහා කාව්‍ය සහ ඛණ්ඩ කාව්‍ය....

කාව්‍යශේඛරය:-මහා කාව්‍ය


                 කෝට්ටේ යුගයේ තොටගමුවේ විජයබා පරිවේණාධිපති ශ්‍රී රාහුල හිමිපාණන් විසින් රචිත කාව්‍යශේඛරය මහා කාව්‍යයක් වශයෙන් සලකනු ලැබේ. මෙම මහා කාව්‍යයට පෙර ගීතයෙන් පබැඳුණු ප්‍රථම මහා කාව්‍ය වූයේ දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජු විසින් රචිත කව්සිළුමිණ ය. අනතුරුව සිව් පද විරිතින් බැඳුණු එක ම මහා කාව්‍යය වූයේ කාව්‍යශේඛරය යි. කාව්‍යශේඛරය යන්නෙහි අරුත වන්නේ කාව්‍යයන් ගේ ශේඛරය හෙවත් කාව්‍යන්ගේ මුදුන්මල්කඩ යන අර්ථාන්විත නාමය යි. මෙම කාව්‍යශේඛරයට  වස්තු විෂය කොට ගන්නා ලද්දේ ජාතකට්ඨකථාවේ එන සත්තු භත්ත ජාතකය යි.මෙම කාව්‍යය රචනා කරන ලද්දේ කවියෙන් බණ කියන ලෙස සිරි පැරකුම්බා රජුගේ බාල දියණිය වූ උලකුඩය දේවිය ආරාධනා කළ හෙයින් බව ග්‍රන්රථාරම්භයෙහි පහත සඳහන් කාව්‍යයෙන් හෙළි වේ.

 උතුම් මෙ  බිසෝ                 සඳ

හෙළු බසින් නිසි පද          බැඳ

කියනුව බණක්‌                 සොඳ 

කෙළෙන් ආරාදනා       මනනාඳ


                  මහා කාව්‍යයක අඩංගු විය යුතු ලක්ෂණ රැසක් දණ්ඩආචාරීන්ගේ කාව්‍යාදර්ශනයෙහි සඳහන් වී තිබේ. කාව්‍යාදර්ශනයේ අනුවර්තනයක් වන අනුරාධපුර යුගයේ ලියැවුණු සියබස්ලකරෙහි ද මහා කාව්‍යයක ඇතුළත් විය යුතු ලක්ෂණ පෙන්වා දී ඇත. එනම් සර්ගවලට බෙදා දැක්වීම; ආශිර්වාදය කින්, නමස්කාරයකින් හෝ වස්තු නිර්දේශයකින් කාව්‍ය ඇරඹීම; කතාවස්තුව ඉතිහාසයෙන් ගත්තක් හෝ අන්‍ය වූ සත්‍ය වෘත්තාන්තයක් වීම; කථානායකයා උදාර පුද්ගලයකු වීම; අර්ථ, ධර්ම, කාම,මෝක්ෂ යන චතුර්විධ ප්‍රතිඵල කාව්‍යයෙන් ලැබිය යුතු වීම; නගර, සයුරු, පර්වත, රිතූ, චන්ද්‍රෝදය,සූර්යෝදය, දියකෙළි, උයන්කෙළි, මධුපානෝත්සව,සම්භෝග,විපුලම්ඹ වැනි වර්ණනා තිබීම වශයෙනි.

               සංස්කෘත අලංකාරිකයන්ගේ මෙම මහා කාව්‍ය සිද්ධාන්තයන්ට අනුගතව ශ්‍රී රාහුල හිමියන් විසින් සර්ග 15 කින් යුක්තව කාව්‍ය 887 මඟින් සත්තුභත්ත ජාතකය පාදක කර ගනිමින් රචනා කරන ලදී. සත්තු භක්ත යන්නෙහි වචනාර්ථය වන්නේ "අත්සුණු පසුම්බිය" යන අදහසයි. මහලු බමුණෙකු හා තරුණ බැමිණියකගේ ජීවිත ගැටළුවකින් නිපන්, අග්ගලා මල්ලක් නිසා ඇති වූ ව්‍යසනයක් සමනය කිරීමට ඉදිරිපත් නිසා ඇති වූ ව්‍යසනයක්, සමනය කිරීමට ඉදිරිපත් වන බෝධිසත්ත්වයන්ගේ ප්‍රඥා පාරමිතාව ප්‍රකට වන සේ රචිත මහාකව්‍යක්  ලෙස මෙම පුවත ගොඩනඟා තිබේ.


 ගුත්තිල කාව්‍ය :- ඛණ්ඩ කාව්‍ය

            

                       කෝට්ටේ යුගයේ විවිධ කව්‍යන්ගේ විචිත්‍රත්වය පිළිබඳ විමසීමේ දී ගුත්තිල කාව්‍යයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ගුත්තිල ජාතකය ඇසුරින් රචිත මෙම කාව්‍ය මහා කාව්‍ය සම්ප්‍රදායට හා සංස්කෘතික අලංකාරිකයන්ගේ සිද්ධාන්තයන් අනුව හෝ රචනා කිරීමට කතුවරයා පෙළඹී නැත. වෑත්තෑවේ හිමියන් මෙම කාව්‍යයෙහි කතුවරයා බව චිරාගත පිළිගැනීම වන අතර මෙම කාව්‍ය ඛණ්ඩ කාව්‍යයක් ලෙස සැලකේ. කව්සිළුමිණ හා කාව්‍යශේඛරය මෙන් මෙහි සර්ග  වෙන් කිරීමක් නැති හෙයින් මෙම කාව්‍ය ඛණ්ඩ කාව්‍යයක් වශයෙන් සැලකෙයි. මෙම ග්‍රන්ථයෙහි කිසිදු තැනක කතුවරයාගේ නාමය සඳහන් නොවේ. ගුත්තිල කාව්‍යය ආරම්භයේ සඳහන් වන ආකාරයට සලාවත ජයපාල මැතිඳුන්ගේ ඇරයුමෙන් මෙය ලියා ඇති බව හෙළි වේ.

                         වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍ය රචනයේදී භාවිත කළ වර්ණනා චාතුර්යය පමණක් නොව වස්තු විකාශනය, චරිත නිරූපණය, සරල බස් වහර වැනි සෑම අංශයකින් ම සිංහල කාව්‍යාවලියෙහි මුදුන්මල්කඩ සේ බොහෝ විචාරකයෝ පවසති. ජනකවි බස ගුරු කොටගත් ගුත්තිල කවියා මුල සිට අග දක්වා ම සරල භාෂා ශෛලියකින් තම කාව්‍ය අර්ථ රසය හා ශබ්ද රසය උද්දීපනය වන සේ ප්‍රකට කිරීමට චතුරතා දක්වා ඇති අයුරු හෙළි වේ. පරිච්ඡේද හෙවත් සර්ග වශයෙන් නො බෙදා මෙම ග්‍රන්ථයෙහි පද්‍ය 511කින් නිමා කිරීමට ගුත්තිල කතුවරයා සමත් වී ඇත. එළිසම සහිත ගී විරිත්, සමුදුරුගොස්,පෙද විරිත් හා දිගු විරිත් රැසකින් බඳිනා ලද අගනා කාව්‍යයන්ගෙන් අනූන වූ වර්ණනාවන් මෙහි අන්තර්ගත වේ. උදේනි පුර සැණකෙළිය, රාජසභා වැනුම, ගුත්තිල ඇදුරුතුමා තරඟයට ගිය ආකාරය,  ගුත්තිල වීණා වාදනය, සුරංඟන රැඟුම, සැදෑ වැනුම ආදී උසස්තම වර්ණනාවන් රැසක් මෙම කාව්‍යයෙහි ඇතුළත් වේ.


 

Comments

  1. කාව්‍ය සංග්‍රහ වලින් වටිනා කීපයකි.🌸

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...