බුදු දහමේ ඉගැන්වීම් ජීවිතයට සම්බන්ධ කර ගන්නේ කෙසේ ද?

               "මඩෙහි හට ගෙන එයින් ම පෝෂණය ලැබ එහි නොගෑවී ඉන් උඩට මතු වී සුසිනිඳු ව සුවඳවත් ව ප්‍රසන්න ව නෙළුම විකසිත වන්නා සේ"මේ මඩ ගොහොරුව නැමැති සමාජයේ සුසිනිඳු, සුවඳවත් නෙළුමක් වීමට නම් බුදු දහමේ ඉගැන්වීම් ජිවිතයට සම්බන්ධ කර ගත යුතු ය.

                  බුදුවරයෙකු ලොව පහළ වන්නේ උත්තරීතර පරම සත්‍ය මිනිස් වර්ගයට දේශනා කිරීම පිණිස ය. එම පරම සත්‍ය නම් චතුරාර්ය සත්‍ය වේ. බුදු දහමේ මූලික ඉගැන්වීම ලෙස ද සැලකිය හැකි ය. බුදු දහම අනුව ජීවිතය හා ලෝකය පිලිබඳ යථාර්ථය අවබෝධ කරගන්නා තුරු මනා නුවණින් දැන දැක එහි ඇති තතු ඇති සැටියෙන් ම පසක් කර ගන්නා තුරු සසර වසන සත්ත්වයාට ඉන් මිදිය නොහැකි ය.බුදු දහමේ ඉගැන්වීම් ජිවිතයට සම්බන්ධ කර ගැනීමෙන් මෙලොව, පරලොව දෙක ම සඳහා උපකාරී වේ.


🌼චතුරාර්ය සත්‍ය...

1)දුක්ඛ ආර්ය සත්‍ය(දුක )

2)දුක්ඛ සමුදය ආර්ය සත්‍ය (දුකට හේතුව )

3)දුක්ඛ නිරෝධාර්ය සත්‍ය (දුක නැති කිරීම )

4)දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය (දුක නැති කිරීමේ මඟ )

            චතුරාර්ය සත්‍ය දේශනාව බුදු දහමේ මූලික ඉගැන්වීම ලෙස හඳුන්වයි. බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි දී පස්වග භික්ෂූන් අමතා සිදු කළ මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සුත්‍රයෙහි දී මෙම මූලික ඉගැන්වීම පහදා දුන් සේක.


 🔴දුක්ඛ ආර්ය සත්‍ය 


                දම්සක් පැවතුම් සුත්‍රයට අනුව ඉපදීම දුක ය,වයසට යාම දුක ය,ලෙඩ වීම දුක ය,ප්‍රියයන්ගෙන් වෙන්වීම,අප්‍රියයන් හා එක්‌ වීම මෙන් ම කැමති දේ නොලැබීම ද දුක ය.කෙටියෙන් ම කියතොත් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්ඛන්ධය සිතින් දැඩිව ගැනීම හෙවත්‍ උපාදානය දුක ය.මේ දේශනාවෙහි මූලික අර්ථය නම් මිනිස් ජිවිතයේ අසාරත්වය යි. සසර දුක් තුන් ආකාරයකි.

1. දුක්ඛ දුක්ඛතා (සාමාන්‍ය දුක් )

2. විපරිණාම දුක්ඛතා (වෙනස් වීමේ දුක )

3. සංඛාර දුක්ඛතා (ඇතිවීම නැතිවීම හේතුවෙන් හට ගන්නා දුක )


🔴දුක්ඛ සමුදය ආර්ය සත්‍ය 


           සසර දුක් හට ගැනීමට හේතු මෙයින් විස්තර කෙරේ. සත්ත්වයා විවිධාකාර දුක් පීඩාවලට ලක්‌ වන්නේ අහේතුකව නොවේ.කිසියම් දෙවියකුගේ හෝ බ්‍රහ්මයකුගේ කැමැත්ත අනුව ද නොවේ. හේතු සාධක ඇති ව  ය.එයට මූලික ම හේතුව වන්නේ මිනිස් සිත්හි ඇති අසීමිත තණ්හාව යි. මෙම තණ්හාව මුල් කොට ගත් සියලු කෙලෙස් දුකට හේතු වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම උදානයෙහි කියැවෙන පරිදි තමන් වහන්සේ සසර නොයෙකුත් අත්මභාවවල ඉපිද ජරා මරණාදී දුක් දොම්නස්වලට මුහුණ දුන්නේ තණ්හාව නිසා ය.

"යථාපිමූලෙ අනුපද්දවේ දල්හේ

 ඡින්නෝපි රුක්ඛෝ පුනරේවරූහති

 ඒවංපි තණ්හානුසයේ අනුහතේ

 නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං"

             යම් සේ ගසක මුල් ශක්තිමත්ව නොගැලවී පවතින්නේ ද ඒ තාක් කල් එම ගස නැවත නැවත ලියලන්නා සේ අප සිත්හි ඇති තණ්හාව ඉවත් නොකළ කල්හි දුක නැවත නැවත හට ගනීයි.

           සාමාන්‍ය ජිවිතයේ දී මිනිසුන් අතර විවිධ ගැටුම් ඇති වන්නේ ද මෙම තණ්හාව හේතුවෙනි. එයින් මිනිස්සු දුකට පත් වෙති. මෙසේ සසර දුකට හේතු වන විවිධ ක්ලේශ ධර්මයන් අතර මූලික වන තණ්හාව මංගල ධර්ම දේශනාවේ දී තුන් ආකාරයකට බෙදා දක්වා තිබේ.එනම්,

1) කාම තණ්හාව- පස්කම් සැපතට ඇති ආශාවයි. ඉඳුරන් පිනවීමේ අසීමිත කැමැත්තයි.

2)භව තණ්හාව- මම හෙවත් ආත්මය පිළිබඳ හැඟීම් මුල්කොට ගෙන ඇතිවන ආශාවයි. මම නිත්‍ය වශයෙන් ම දිගින් දිගට ම සසර සැප විඳිමි යන අපේක්ෂාවයි.

3) විභව තණ්හාව - පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාවයි.

එබැවින් දුකට හේතුව තණ්හාව බව පැහැදිලි වේ.


🔴දුක්ඛ නිරෝධාර්ය සත්‍ය 


         ලෝකය දුක මත පිහිටා ඇති බවත් ඊට මූලික හේතුව මිනිස් සිත් තුළ ඇති අසීමිත තණ්හාව බවත් පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ එම දුකින් අත්මිදීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යයෙන් හෙළි කොට වදාළහ. මුලින් උදුරා දැමූ ගස නැවත පැළ නොවන්නේ පොළොව සමඟ ඇති සියළු සබඳතා නැති වී තිබෙන බැවිනි. එසේම සසර දුකට මුල්වන තණ්හාව ද මුලින් ම උදුරා දැමීම දුක්ඛ නිරෝධාර්ය සත්‍යය නම් වේ."මම සසර නැවත නැවතත් ඉපදෙමින් පීඩා විඳීමට හේතුව වූ තණ්හාව මුලිනුපුටා දැමුවෙමි. " යි බුදුරජාණන් වහන්සේ ප්‍රථම උදානයෙහි වදාළහ.දුක්ඛ නිරෝධාර්ය සත්‍යය හෙවත් නිවන එනම් තණ්හාව නැති කිරීම යනු භව නිරෝධය වේ.රාග,දෝෂ,මෝහ ආදි සියලු කෙලෙස් නැවත නූපදිනා පරිදි ක්ෂය කිරීම වේ. මිනිස් සිත් තුළ තණ්හාව  හා එය මුල් කොට ගත් කෙලෙස් ඇති තාක් අවිද්‍යාව රජ කරයි. එය අඳුරකි. අවිද්‍යාවෙන් අන්ධ ව තණ්හාවෙන් මුසපත් ව සිටින මිනිසුන්ට ඇති තතු නොපෙනේ. ඇති තතු ඇති ලෙස දැක නිකෙලෙස් මනසක් ඇති උතුමෝ පරම සුවය විඳින්නෝ ය. නැවත සසරෙහි නූපදින්නෝ ය.


🔴දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය


     බුදුරජාණන් වහන්සේ වදාළ සිව්වන ආර්ය සත්‍යය මෙය යි. එනම් දුකින් මිදීමේ මාර්ගය යි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.එනම්,

1. සම්මා දිට්ඨි - චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානය යි. අකුසලය ද අකුසල මූලය ද, කුසලය ද කුසල මූලය ද,අකුසලය ද අකුසල විපාකය ද,කුසලය ද කුසල විපාකය ද දැන දැක ගන්නා ඥානය යි.

2.  සම්මා සංකප්ප- පස්කම් සැපතින් නික්මීම ද අනුන් නොනැසීම ද අනුන්ට හිංසා නොකිරීම ද යන මේ සංකල්පනාව සම්මා සංකප්ප වෙති.

3.  සම්මා වාචා- වචනයෙන් සිදුවන බොරු කීම, කේළාම් කීම, හිස් වචන කීම හා රළු වචන කීම යන අකුසල්වලින් වැළකීම යි.

4.  සම්මා කම්මන්ත- පරපණ නැසීම, සොරකම් කිරීම,වැරදි කාම සේවනය යන අකුසල් වලින් වැළකීම යි.

5.සම්මා අජීව - යහපත්, නිවැරදි දිවි පැවැත්ම යි.සතුන් වෙළදාම,අවිආයුධ වෙළදාම, මාංශ වෙළදාම,මත්පැන් වෙළදාම, වසවිස වෙළදාම යන නොකළයුතු වෙළදාම් පහක් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ඒවායින් වැළකී නිවැරදිව ජිවත් වීමයි.

6. සම්මා වායාම- නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම,නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් දියුණු කිරීම යන සතරාකාර උත්සාහයයි.

7.සම්මා සති -කායානුපස්සනා,චිත්තානුපස්සනා, වේදනානුපස්සනා,ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන වැඩීම යි.

8. සම්මා සමාධි - ධ්‍යාන වැඩීමෙන් සිත පිරිසිදු කිරීම හා එකඟ කිරීම සම්මා සමාධිය යි. එනම් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය යන ධ්‍යාන උපදවා ගැනීම යි.

           මෙහි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ග අංග ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් වේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග සීල ශික්ෂාවට ද සම්මා වායාම, සම්මා සති,සම්මා සමාධි යන මාර්ගාංග සමාධි ශික්ෂාවට ද ඇතුළත් වේ.ඉහත කී ශීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ද ගමන් කළ යුතු ය. එය නිවන් මාර්ගය යි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි. මාර්ගාංග වශයෙන් 8 කින් ද ශික්ෂා වශයෙන් තුනකින් ද යුක්ත වන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මධ්‍යම ප්‍රතිපදාව යි.මෙය අත්හල යුතු අන්ත දෙක වන කාමසුඛල්ලිකානුයෝගය හෙවත් අසීමිත ලෙස පස්කම් සුව සෙවීම සහ අත්තකිලමථානුයෝගය හෙවත් අසීමිත ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන් ම බැහැර වන බැවින් මධ්‍යම ප්‍රතිපදාව ලෙස මෙය හඳුන්වා තිබේ.

                      බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යය මැනවින් වටහා ගත යුතු ය. මධ්‍යම ප්‍රතිපදාවෙහි අප හැසිරිය යුතු ය. සමාජයේ ජීවත්‍ වීමේ දී ද අපට මෙය ඉතා වැදගත් වේ. එදිනෙදා ජීවිතයේ දී වුව ද අප පළමුවෙන් ම අප ඉදිරියේ ඇති ගැටලු හදාරා තේරුම් ගත යුතු ය.දෙවනුව එම ගැටලුවලට තුඩු දී ඇති හේතු අනාවරණය කරගත යුතු ය. තෙවනුව විසඳුම කුමක් දැයි අවබෝධ කරගත යුතු ය. සිව් වැනි ව විසඳන මාර්ගයෙහි ගමන් කළ යුතු ය. මෙම චතුරාර්ය සත්‍යය අපට මෙලොව ගැටළු තේරුම්ගෙන විසඳා ගැනීමට හොඳ ම මඟ පෙන්වීමකි.


🌼පටිච්ච සමුප්පාද ධර්මය...


"යේ ධම්මා හේතුප්පභවා

 තේසං හේතුං තථාගතෝ ආහ

 තේසං ච යෝ නිරෝධෝ

  ඒවං වාදී මහාසමණෝ"


           හේතුවකින් උපදින යම් ධර්ම කෙනෙක් වෙත් ද ඒ ධර්මයන්ගේ හේතුව තථාගතයානන් වහන්සේ වදාළ සේක. ඒ ධර්මයන්ගේ යම් නිරෝධයක් වේ ද එය ද දේශනා කළ සේක. මහා ශ්‍රමණ වූ ඒ තථාගතයානන් වහන්සේ මෙබඳු දේශනාවක්‌ කරන්නෙකි. මේය හේතුඵල ධර්මය යනුවෙන් ද හැඳින්වේ. බුදුදහමෙහි කියැවෙන්නේ යමක් ඇතිවීමට තවත් දෙයක් හෝ දේවල් කිහිපයක් හෝ බලපාන බවයි. එසේ ඇති වන දෙය "ඵලය"ලෙසත් ඒ සඳහා බලපාන දෙය "හේතුව" ලෙසත් හැදින්වේ.පටිච්ච සමුප්පාද යන යෙදුමෙන් ම කියැවෙන්නේ සහේතුක බව, හේතු සහිත බව, අහේතුක නොවන බව යන්න යි.එනම් ලෝකයේ වස්තු,පුද්ගල, සිද්ධි යන සියල්ලක්ම හේතු-ප්‍රත්‍ය සම්බන්ධතාවකට අනුව ක්‍රියාත්මක වන බවයි. එය බුදුරජාණන් වහන්සේ විසින් ඉතා ම කෙටියෙන් මෙසේ දේශනා කරනු ලැබ ඇත.

 "ඉමස්මිං සති ඉදං හෝති

  ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති

  ඉමස්මිං අසති ඉදං න හෝති

  ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති"


"මෙය ඇති කල්හි මෙය  වෙයි

 මෙය ඉපදීමෙන් මෙය උපදී

 මෙය නැති කල්හි මෙය නොවේ

 මෙය නැති වී යෑමෙන් මෙය නැතිව යයි"


              මෙහි පළමු වැන්නෙන් පැවැත්මේ සම්බන්ධතාවය කියැවෙන අතර දෙවැන්නෙන් උත්පාද සම්බන්ධය කියැවේ. තෙවැනි හා සතර වැනි වැකි දෙකෙන් නොපැවැත්ම හා නැතිවී යාම පිළිබඳව කියැවෙන බව පැහැදිලි ය.මෙම න්‍යායට අනුව සමාජ ගැටලු ඇතිවන ආකාරය සහ ඒවා විසඳා ගත හැකි ආකාරය ද තේරුම් ගත හැකි ය.

උ.දා :- ඩෙංගු උණ බහුල වන්නේ ඇයි?ඩෙංගු මඳුරුවන් බෝ වීම නිසා ය. ඩෙංගු මඳුරුවන් බහුල වන්නේ ඇයි?පරිසරය අපවිත්‍ර නිසා ය. ඩෙංගු නැති කිරීමට කුමක් ද කළ යුත්තේ?  පරිසරය පවිත්‍රව තබා ගත යුතු ය. පරිසරය අපවිත්‍ර නො වූ කල්හි මඳුරුවන් බෝ වෙන්නේ නැත. මදුරුවන් බෝ නොවූ කල්හි  ඩෙංගු උණ සෑදෙන්නේ නැත.

         මේ ආකාරයට ගැටළු විසඳා ගැනීම සඳහා පටිච්ච සමුප්පාදය භාවිතා කළ හැකි වේ.


🌼සතර සංග්‍රහ වස්තු...


               සමාජයක කවර තරාතිරමක පුද්ගලයෙකු තුළ වු ව ද ක්‍රියාත්මක වශයෙන් තිබිය යුතු පිළිවෙත් හතරක් සතර සංග්‍රහ වස්තු නමින් හැඳින්වෙයි. එනම් දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව සහ සමානාත්මතාව යි.විශේෂයෙන් ම මේවා අපගේ ජීවිතයට එක් කර ගත යුතු ය.


🔴දානය


           දානය යනු හුදෙක් ආගමික කටයුත්තක් පමණක් ම නොවේ. පාලකයා විසින් රටේ ජනතාවගේ ආර්ථික අභිවෘද්ධිය උදා කරලීමේ අරමුණින් ප්‍රාග්ධනය සැපයීම ද ඊට ඇතුලත් වේ. එන්නම් ගොවිතැන් කරන පිරිසට අදාළ භූමිය, බිත්තර වී,පොහොර, ජලය ආදිය ලබා දීමයි. වෙළඳාමේ යෙදෙන අයට වෙළෙඳපොළ හා ප්‍රාග්ධනය ලබාදීමත් රාජ්‍ය සේවයේ හෝ වෙනත් සේවාවන් සපයන පිරිස් සඳහා නිසි ලෙස වැටුප් ලබා දීමත් දානයට ඇතුළත් වේ. දුප්පත් ජනතාවට අවශ්‍ය ආහාර පානාදිය ලබා දීමත් වැඩිහිටිනිවාස හා ළමා නිවාසවලට දානය පිළියෙල කර දීමත් වෙනත් ඕනෑ ම දෙයක් දන් දීම තුළින් අපට ලෞකික අභිවෘද්ධිය උදා වෙන අතර පරලොව යහපත ද ඇති කරන්නක් වේ.


🔴ප්‍රිය වචනය


          ප්‍රියයන් වචන යනු යහපත් වචන යි. බොරු කීම, කේළාම් කීම, හිස් වචන කීම සහ රළු වචන කීම යනාදී අකුසල් හතරෙන් තොර කතාබස් කිරීමයි.ආදරයෙන් ගෞරවයෙන් හා කනට මිහිරි වදනින් කතා කරුනු ඇසීමට අප කවුරුත් කැමති ය.මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් ද මිහිරි වචනයට කැමති බව නන්දිවිසාල ජාතකයෙන් පැහැදිලි වේ.වචනයට අසීමිත බලයක් ඇත.ජනතා පාලකයෙකු නම් ප්‍රජාවට සත්‍ය ප්‍රකාශ කිරීමත්, ඔවුන් භේද කිරීමෙන් වැළකී සමඟිය දියුණු කිරීමත්, අර්ථවත් දේ කතා කිරීමත්, කනට මිහිරි ප්‍රියශීලි කතාබස් කිරීමත් කළ යුතු ය.


🔴අර්ථචර්යාව


                  අර්ථචර්යාව යනු අනුන්ගේ යහපත හා අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කිරීම යි. අප අපගේ යහපත පමණක් සිතා කටයුතු නොකළ යුතු ය. අනුන්ගේ යහපත අභිවෘද්ධිය තකා ද කටයුතු කළ යුතු වේ.ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී විය යුතු ය. රාජ්‍ය පාලකයෙකු සියලු රට වැසියන් තමන්ගේ දරුවන් ලෙස සිතා කටයුතු කළ යුතු ය.තමන්ගේ යහපත මෙන්ම අනුන්ගේ යහපත උදෙසා කටයුතු කිරීම තුළින්  දෙලොව ම සුබසිද්ධිය සලසා ගත හැකි ය.


🔴සමානාත්මතාව


             ජාති, ආගම, කුල, භාෂා වශයෙන් අප වර්ග වී සිටිය ද ඒ සියලු දෙනා කෙරෙහි ම සම සිතින් කටයුතු කිරීම යි. බුදුරජාණන් වහන්සේ පොහොසත් -දුප්පත්,කුලවත් -කුලහීන ආදී වශයෙන් බෙදා නොදක්ක්වා සියලු දෙනාට ම සම සේ පිහිට වූ සේක. සැඩොල් කුලයක් උපත ලැබූ සුනීතට තම දිවිය ගෙවීමට නගරයේ කසළ ශෝධක වෘත්තියේ නියැලීමට සිදු විය.එය ඉතා කටුක අමිහිරි ය.බුදුරජාණන් වහන්සේ ඔහුව එයින් ගලවා ගත්තේ සසුනගත කිරීමෙන් ය. මෙලෙස උස් පහත් භේද නොතකා සියලු දෙනාට ම එක සේ බුදුරජාණන් වහන්සේ පිහිට වූ සේක. අපි ද එලෙස භේද නොතකා සියලු දෙනාට ම සම සිතින් කටයුතු කරමු.

        

                    සතර සංග්‍රහ වස්තු හෙවත් සිව් සඟරාවත් අපගේ ජිවිතයට අදාල කර ගැනීමත්‍, අපගේ ජිවිතයට ඒක කරගත යුතු වටිනා දෙයක් ලෙස හැඳින්විය හැකි ය.


🌼ව්‍යග්ඝපජ්ජ සුත්‍රයේ දියුණුවේ හා පිරිහීමේ දොරටු...


                  බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ වංශික දීඝජානු නම් කෝලිය පුත්‍රයාට මෙලොව සහ පරලොව හිතසුව පිණිස හේතු වන කරුණු සතර බැගින් දේශනා කළ සේක. එයින් මෙලොව හිතසුව පිණිස හේතුවන් කරුණු නම්,

1. උට්ඨාන සම්පාදා 

2. ආරක්ඛ සම්පාදා

3. කල්‍යාණ මිත්තතා

4. සමජීවිකතා


🔴උට්ඨාන සම්පදා


           තමන් කරන කවර හෝ රැකියාවක් උත්සාහයෙන් දෑතේ මහන්සියෙන් දහදිය හෙළා ධාර්මිකව ධනය උපයා ගැනීම යි. ධාර්මික රැකියා අංශ 6 ක්‌ ද දක්වා තිබේ.

🟠කෘෂිකර්මාන්තය

🟠වෙළදාම

🟠ගවයන් රැක බලා ගැනීම

🟠 ආරක්ෂක සේවය

🟠 රාජ්‍ය සේවය

🟠 වෙනත් ශිල්ප කර්මාන්ත


🔴 ආරක්ඛ සම්පදා


           ධාර්මිකව උපයාගත් ලෞකික ධනය විනාශ වීමට ඇති ක්‍රම ද අප වටහා ගත යුතු ය. එසේ ධනය විනාශ වී යා හැකි ක්‍රම සතරක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වේ.

🟠 රජයට අයත් වීම.

🟠 සොරුන් විසින් පැහැර ගනු ලැබීම.

🟠 ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත් වීම.

🟠 තමා ප්‍රිය නොකරන අයට අයත් වීම.


                 මෙම ක්‍රමවලින් ධනය විනාශ වීමට ඉඩ නොදී එය මැනැවින් ආරක්ෂා කර ගැනීම ආරක්ඛ සම්පදා නම් වේ.


🔴 කල්‍යාණ මිත්තතා


                      යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම කල්‍යාණ මිත්තතා යන්නෙහි අදහස වේ. මෙහි දී වෙසෙසින්  සැලකිලිමත් විය යුත්තේ මිතුරාගේ වයස හෝ තරාතිරම හෝ නොව ගතිගුණ කෙරෙහි ය. ඔවුන් සතු සද්ධා, සීල, චාග, ප්‍රඥා යන ගුණ ධර්ම තම ජීවිතයට ළං කර ගැනීම කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය තුළින් අපේක්ෂා කරගත යුතු ප්‍රමුඛ කරුණයි. එහෙයින් මිතුරාගේ උසස් ගුණ ධර්ම අනුව තම චරිතය සකසා ගැනීම කෙරෙහි සෑම විටෙක ම පුද්ගලයෙකු උනන්දු විය යුතු ය.


🔴 සමජීවිකතා


           තමාගේ ආදායම හා වියදම හොඳින් දැන ආදායමට වඩා වියදම වැඩි නොකොට නැතහොත් අය-වැය මනාව තුලනය කර ගැනීම සමජීවිකතාවයි. අඩු ආදායමක් ඇති ව වැඩියෙන් වියදම් කරන්නා උපමා කර තිබෙන්නේ අවිචාරයෙන් අත්තිකා කන්නෙකුට යි. (උදුම්බරාඛාදික )අත්තික්කා කන්නා ගසට නැග අතු සෙලවුවහොත් ඉදුණු ගෙඩි මෙන් ම මල් හා ගැට ද බිමට වැටේ. ඉදුණු ගෙඩි පමණක් කෑමට ගන්නා ඔහු සෙසු ගෙඩි ඉවත දමයි. ආදායමට වඩා වියදම් කරන්නා ද ඒ හා සමාන වේ. ඉහළ ආදායම් තත්ත්වයක් ඇති ව ඉතා සුළුවෙන් වියදම් කරන්නා නොකා මැරෙන්නෙකැයි දැක්වේ. ඇතැම් අය තමා ලබන ආදායමට වඩා වියදම් කිරීමට පුරුදු ව සිටිති. යම් යම් දේ අනුකරණය කිරීම එයට හේතුවයි. එයින් සිදු වන්නේ නොදැනුවත්ව ම තම පරිහානිය සිදු වීමයි. අය-වැය මනාව තුලනය කර ධනය පරිහරණය කිරීමට සමජීවිකතා ප්‍රතිපත්තියෙන් උගන්වා ඇත.


🌼 පරාභව සූත්‍රයෙහි ඉගැන්වීම්...


          පරාභව සූත්‍රය ද පුද්ගලයාගේ මෙලොව දිවි පෙවෙත සාර්ථක කරලීම සඳහා බෙහෙවින් ම උපකාර වන්නා වූ ඉගැන්වීම්වලින් යුක්ත ය. පුද්ගලයාගේ පිරිහීමට හේතු කවරේදැයි දෙවියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ සිදු කළ දේශනයකි. මෙහි පිරිහීමේ කරුණු රාශියක් ගාථා දොළහකින් දේශනා කොට තිබේ.

1. ධර්මයට අකමැති වීම.

2. අසත්පුරුෂයන් ප්‍රිය වීම.

    සත් පුරුෂයන් ප්‍රිය නොකිරීම.

    අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කිරීම.

3. නිතර ම නිදාන සුළු බව.

    කතාවෙන් ම දවස ගෙවීම.

    උත්සාහයෙන් තොර වීම.

    අලසකම.

    ක්‍රෝධ කරන බව.

4. මහලූ වියට පත් මවුපියන්ට හැකියාව තිබියදීත් නොසැලකීම.

5. බමුණන්, පැවිද්දන් හෝ වෙනත් තවුසන් බොරුවෙන් රැවටීම.

6. බොහෝ ධනය,ආහාරපාන තිබියදීත් ඒවා හුදෙකලා ව භුක්ති විඳීම.

7. ජාතිය, ධනය, ගෝත්‍රය පිළිබඳ මානයෙන් උදම් වී ස්වකීය ඥාතීන් පහත් කොට සිතීම.

8. ස්ත්‍රීන් කෙරෙහි, සුරාව කෙරෙහි,දූ කෙළියෙහි ලොල් ව ලත් ධනය විනාශ කිරීම.

9. ස්වකීය භාර්යාවන්ගෙන් තෘප්තිමත් නොවී වෛශ්‍යාවන් හා පර අඹුවන් කරා යාම.

10. ඉක්මන් ගිය යොවුන් බව ඇති මිනිසෙකු ළාබාල තරුණියක සරණපාවා ගෙන ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා ඇය රැකීමට වෙහෙසවීම.

11. රසයෙහි ගිජු වූ නාස්තිකාර  ස්ත්‍රියක හෝ පුරුෂයකු ආධිපත්‍යයෙහි  තැබීම.

12. ක්ෂත්‍රිය කුලයෙහි ඉපදුණු ධනයෙන් හීන මහත් වූ වස්තු තෘෂ්ණාවෙන් යුක්ත අයකු රජකම පැතීම.

           සූත්‍ර දේශනා තුළ පුද්ගලයාගේ මෙලොව දියුණුවට මෙන් ම පරලොව දියුණුවට ද අදාළ ධර්ම කරුණු රාශියක් විග්‍රහ වී තිබේ.ඒව පිළිපැදීම තමාගේත් පොදුවේ සමාජයේත් යහපත පිණිස ම හේතු වනු ඇත. පුද්ගල දියුණුව හා පිරිහීම කෙසේ සිදුවන්නේ දැයි වටහා දෙන මෙම ධර්ම කරුණු ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම පුද්ගලයාගේ ආධ්‍යාත්මික, ආර්ථික හා සමාජීය ජීවිතය පරිහානිය කරා යා නොදී සාර්ථකත්වය කරා ගෙන යාමට මහෝපකාරී වෙයි.


🌼 සිත සමාධි ගත කිරීම...


 "දූරං ගමං ඒක චරං

  අසරීරං ගුහාසයං

  යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති

  මොක්ඛන්ති මාර බන්ධනා"

 දුර ගමන් කරන,තනිව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන සිත දමනය කර ගන්නා තැනැත්තෝ මාරයාගේ බැම්මෙන් මිදෙති.

             පුද්ගලයාගේ සිතට බොහෝ දුර ගමන් කළ හැකි ය. අප කවර ස්ථානයක සිටියද සිතින් තවත් ස්ථානයකට යා හැකි ය. එසේ ම සිත තනිව ම ගමන් කර කිසිවෙකුට සිත සමඟ එක්ව ගමන් කළ නොහැකි ය. සිත ශරීරය නැමැති ගුහාවෙහි වාසය කරත් සිතට ගමන් කිරීමට ශරීරයේ ආධාරය අවශ්‍ය නොවේ.නමුත් යහපත් සහ අයහපත් ඕනෑ ම කටයුත්තක් සඳහා පුද්ගලයා මෙහෙය වන සිත දමනය කර ගැනීමෙන් මාරයාගේ ග්‍රහණයෙන් එනම් සසර දුකින් මිදිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙම සිත එකඟ කර ගැනීමටත්, සිත දියුණු කර ගැනීමටත් භාවනාව වැඩිය යුතු ය. එසේම සිත සමාධිගත කර ගැනීමටත් විවිධ අරමුණු කරණ කොටගෙන විසිරී ඇති සිත එක අරමුණක රඳවා ගැනීමටත් බෞද්ධ  භාවනාව උපකාරී වේ.බෞද්ධ භාවනාව දෙයාකාර වේ.

1. සමථ භාවනාව

2. විදර්ශනා භාවනාව



🔴සමථ භාවනාව


            කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාවයි. සමාධි භාවනාව,චිත්ත භාවනාව යනුවෙන් ද හඳුන්වයි.' සමථය' යනු සංසිඳුවීම යි; සංවර කර වීමයි ;සමාදාන කිරීම යන්නයි. ඒ අනුව සිත දූෂණය කරන කෙලෙස් සතුරන් සංසිඳුවීමත්, කුසල් සිත්  දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත් මෙම භාවනාවෙන් සිදු කෙරෙයි.කෙලෙස් සතුරන් පංචනීවරණ ලෙස හැඳින්වේ.

1. කාමච්ඡන්ද නීවරණය

              කම් සැප විඳීමට ඇති කැමැත්ත වේ.

⚫️ඇසට අරමුණු වනුයේ රූප යි. එමඟින් රූප කාමයන් හටගනී යි.

⚫️ කනට අරමුණු වනුයේ ශබ්ද යි.එමඟින් ශබ්ද කාමයන් හටගනී යි.

⚫️ නාසයට අරමුණු වනුයේ ගන්ධ යි.එමඟින් ගන්ධ කාමයන් හටගනී යි.

⚫️ දිවට අරමුණු වනුයේ රස යි. එමඟින් රස කාමයන් හටගනී යි.

⚫️ කයට අරමුණු වනුයේ ස්පර්ශ යි.එමඟින් ස්පර්ශ කාමයන් හටගනී යි.

 මෙසේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කරමින් හටගන්නා වූ කාමයන් කෙරෙහි බැඳීම්   ඒවායෙහි අවබෝධයන් තොරව ආශ්වාදය ලැබීම, සදාකල් පවත්වා ගැනීමට වෙර දැරීම දුක්ඛදායක ආදීනවය කට හේතුවෙයි. අනවබෝධයෙන් ඇතිවන මෙවන් තත්වයන් ගෙන් බැහැර වීමට අප දැනුවත් විය යුතු ය.


2. ව්‍යාපාද නීවරණය

       යම්කිසි පුද්ගලයකු හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවන් ගැන හෝ අප්‍රිය ස්වභාවය, විරුද්ධ ස්වාභාවය ව්‍යාපාද නම් වේ. කෝපය, වෛරය, ක්‍රෝධය, ද්වේශය යනුවෙන් හැඳින්වෙන්නේ ව්‍යාපාදය ම ය. ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇතිවන දූෂිත ස්වභාවය මනා කොට මෙනෙහි කිරීමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු හා ඉන් දුරු වීම පිළිබඳ ව සිතීමෙන් ව්‍යාපාදය දුරු කිරීමට හැකි වේ. මෛත්‍රී භාවනාවේ යෙදීමෙන්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ව්‍යාපාදය පහළ වීම දුරු කළ හැකි වේ.


3. ථීනමිද්ධ නීවරණය

                        ථීන- මිද්ධ යනු අකුසල චෛතසික දෙකකි. සිත, කය දෙකෙහි අලස බව ථීන නම් වෙයි. සිතෙහි අකර්මණ්‍ය බව,රෝගී බව මිද්ධ නම් වේ. මෙම පාප ධර්ම දෙක එකට ම බැඳී පැවතෙමින් කුසල ධර්ම ආවරණය කරයි. මෙම නීවරණ සිත් හි ඇති වීම නිසා පුද්ගලයා එදිනෙදා කළ යුතු දේ පසුවට කල් තබයි; උදාසීන වෙයි. ථීනමිද්ධය දුරු කිරීමට ආරම්භ ධාතු, නික්කම ධාතු,පරක්කම ධාතු යන එකිනෙකට බල පවත්වන වීර්යයෙහි යෙදී කටයුතු කළ යුතු ය. ථීනමිද්ධ දුරුකිරීමට පමණ දැන ආහාර ගැනීම, ඉරියව් වෙනස් කිරීම ආදිය කළ හැකි ය.


4. උද්ධච්ච කුක්කුච්ච නීවරණය

              සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය 'උද්දච්ච' නම් වේ. කළ-නොකළ වරද පිළිබඳව තැවෙන ස්වභාවය 'කුක්කුච්ච'නම් වෙයි. මේවා අකුසල සිතිවිලි දෙකකි. නොසන්සුන් වූ සිත සිරගෙයක දුක් විඳින්නකු ලෙස සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්වා ඇත. සිතෙහි සන්සිඳීම හෙවත් සමාධිය ඇති වීම නුවණින් මෙනෙහි කිරීමෙන් මෙම නීවරණය යටපත් කළ හැකි වේ. සත්‍ය දැකීමට,යථා ස්වභාවය තේරුම් ගැනීමට අප සැමවිට ම උත්සාහ කළ යුතු ය. සත්‍ය අවබෝධයෙන් එනම් ප්‍රත්‍යක්ෂ දැකීමෙන් අනතිමානීත්වයට පත් විය හැකි ය.මෙම නීවරණය යටපත් කළ හැකි ය.


5. විචිකිච්ඡා නීවරණය

                  විචිකිච්ඡා යනු සැකයයි. බුදුන්, දහම්, සඟුන්, පෙර-අපර බව, ත්‍රිශික්ෂාව ආදී අට තැන්හි සැක කිරීම විචිකිච්ඡාව යි. ඒක්‌ කරුණක් ගැන වරක් ඇති වූ විචිකිච්ඡාව ප්‍රහාණය නොකළ විට එය නැවත නැවතත් උපදි යි. කුතුහලය සසර මාවත දිගු කරයි; සසරෙහි බැඳ තබයි; සසරෙහි අතරමං කරයි. මෙම නීවරණය ත්‍රිපිටක ධර්මය හොඳින් ඉගෙන ගැනීමෙන්, තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාව ඇතිකර ගැනීමෙන් ප්‍රහීණ කළ හැකි ය.

                

                    නිවන  අහුරා ඇති පංචනීවරණ ධර්ම සිත තුළ නිතර ඇති කරන අරගල සමථයකට පත් කිරීමෙන් නිවන අවබෝධ කරගත හැකි වේ. සමථ භාවනාව වැඩීමෙන් ලැබෙන උසස්තම ඵල වන්නේ 'පංච අභිඥා' සහ 'අෂ්ට සමාපත්ති' ය. මෙම සමථ භාවනාව වැඩීමෙන් ගිහි ජීවිතයට ගත හැකි ප්‍රයෝජන රැසකි. මතක ශක්තිය දියුණු වීම, එක අරමුණක සිටීමට හැකි වීම, ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වීම,වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය දියුණුවීම, ඉවසීමේ ශක්තිය දියුණු වීම සහ පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකිවීම ආදී දෑ අපට සමථ භාවනාවෙන් ලැබේ.


🔴 විදර්ශනා භාවනාව


               පංචස්කන්ධය දෙස ගැඹුරින් බැලීම විදර්ශනා භාවනාවයි. මෙය විපස්සනා භාවනාව, ප්‍රඥා භාවනාව හා ත්‍රිලක්ෂණ භාවනාව වශයෙන් ද හැඳින්වේ. ජීවිතය සහ ලෝකය අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණය ට අනුව බලමින් මෙම භාවනාව වැඩීම තුළින් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගත හැකි වෙයි. අවසානයේ ප්‍රඥාව පහළ වීමෙන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගත හැකි ය.

                     විදර්ශනා භාවනාවෙන් කෙරෙනුයේ අරමුණුවල සැබෑ තත්ත්වය නුවණින් විග්‍රහකොට බැලීමයි.තම ශරීරයේ අස්ථීර බව, දුක් සහිත බව, පිළිකුල් සහගත බව, නොවෙනස් වෙන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ වන්නේ විපස්සනා භාවනාව වැඩීමෙනි. අස්ථිර වූ අසාර වූ ජීවිතයක් ගත කරමින් ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම වැනි දුර්ගුණ යන්ට ගොදුරු වීමෙහි තේරුමක් නැති බව විදර්ශනා භාවනාවෙන් අවබෝධය වේ. එබඳු දූෂිත සිතිවිලි පාලනය කරගෙන හැකිතාක් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කිරීමට භාවනානුයෝගියා පෙළඹෙයි. එවිට ද ඊර්ෂ්‍යාව වැනි මානසික තත්ත්ව නිසා ඇති වන අසහනය නැති වී යයි. සිතේ ප්‍රබෝධය ඇති වෙයි. ජීවිතයේ සහ ලෝක ස්වභාවය වැටහෙන විට අෂ්ට ලෝක ධර්මයන් ට මැදිහත් ව මුහුණ දීමේ හැකියාව අපට ලැබේ. එම වෙනස් වන සුළු ස්වභාවය වටහා ගෙන මැදිහත්ව ඒවාට මුහුණ දීමටත්, කායික මානසික දුක් පීඩා විඳ දරා ගැනීමටත් හැකියාව ඇති කර ගත යුතු ය. ඒ සඳහා විපස්සනා භාවනාව අපට උපකාරී වේ.


           බුදු දහමේ වටිනා ඉගැන්වීමක් වන නිවැරදිව භාවනා කිරීම තුළින් ලෞකික මෙන් ම ලෝකෝත්තර ප්‍රතිඵල ද ලැබිය හැකි ය. එසේ භාවනා වැඩීම තුළින් අප ජීවිතයට බොහෝ දෑ ලැබෙන බව අපට අවබෝධ වේ.


🌼 අෂ්ට ලෝක ධර්ම...


             බුදුරජාණන් වහන්සේ අෂ්ට ලෝක ධර්ම වශයෙන් කරුණු අටක් දේශනා කළ සේක. ඒවා පහත සඳහන් වේ.

 ලාභ- අලාභ

 යස- අයස

 සැප-දුක

 නින්දා -ප්‍රශංසා

        මෙම අෂ්ටලෝක ධර්ම ද බුදු දහමේ ඉගැන්වීම් තුළින් වටිනා ඉගැන්වීමකි. අප ලාභ යස,සැප,ප්‍රශංසා ආදියේ දී පමණක් උද්දාමයට නොවිය යුතු ය. අලාභ,අපකීර්තිය, දුක්, නින්දාව ආදිය හමුවේ කම්පාවට පත් නොවී ඒවා  සම සේ විඳ දරා ගත යුතු ය. මේවා නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවත් වීම තුළින් සාර්ථක දිවියක් ගත කළ හැකි වේ.


🌼සිව් බඹ විහරණ...


            උතුම් ගුණ දහම් සතරක් "සතර බ්‍රහ්ම විහරණ" හෙවත් "චතු අප්පමඤ්ඤා" ලෙස බුදු දහමේ දැක්වේ. මෙත්තා,කරුණා, මුදිතා, උපේක්ඛා යනු එම ගුණධර්ම සතරයි. බුදු දහම උගන්වන කේන්ද්‍රීය සාරධර්ම එමඟින් අර්ථවත් වන්නේ ය. පුද්ගලයෙකු ගුණ ගරුක අයකු බවට පත් කිරීමට මේවා උපකාරී වේ.

1. මෙත්තා

          මෙත්තා හෙවත් මෛත්‍රිය යනු හිතවත් කමයි. මිතුරු කමයි. සෑම මනුෂ්‍යයෙකුට මෙන් ම තිරිසන් සතුන්ට ද මෛත්‍රී සහගතව ක්‍රියා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බැවින් සියලු දෙනාටම මෛත්‍රී කළ යුතු ය.


2. කරුණා

             කරුණාව නම් දුකට පත් වූවන් දුකෙන් මුදවා ගැනීම සඳහා සිතෙහි ඇති වන අනුකම්පාව යි. මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද විපතක් වූ විට ඔවුන් එයින් මුදවාගෙන කරුණාව දැක්විය යුතු ය. සියලු සතුන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතු ය.


3. මුදිතා

           අනුන්ගේ දියුණුව දැක සතුටට පත් වීම, ඊර්ෂ්‍යා නොකිරීම මුදිතා යි. තවත් කෙනෙකුගේ දියුණුව හා සතුට දැක අවංකව ම ඒ ගැන සිතා සතුටු වීමේ හැකියාවක් අප තුළ තිබිය යුතු ය. මුදිතාව තුළින් ක්‍රෝධය, පළිගැනීම වැනි අවගුණ සම්පූර්ණයෙන් ම බැහැර වේ. දයාව, කරුණාව වැනි උතුම් ගුණ ජනිත කෙරේ. 


4. උපේක්ඛා

               කෙනකුගේ සිත තුළ උපදින මැදිහත් බව උපේක්ෂාව යි. කිසිම දෙයක් ගණන් නොගෙන කටයුතු කිරීමේ ගතිය මෙයින් අදහස් නොකෙරේ. අපට  කීර්තිය, ප්‍රශංසාව පමණක් නොව නින්දා,අපහාස ද ලැබෙයි. ලාභ මෙන්ම අලාභ ද යස්ස මෙන්ම අයස ද හිමිවේ. ඒ පිළිබඳව කම්පා නොවී උපේක්ෂාවෙන් කටයුතු කළ යුතු වේ. එලෙස ක්‍රියා කරන පුද්ගලයන්ගෙන් කිසිවෙකුට අගතියක් ඇති නොවේ.


              විශේෂයෙන් ම මේ සිව් බඹ විහරණ රාජ්‍ය පාලකයකුට තිබිය යුතු ම  වේ. බුදු දහමේ ඉගැන්වීම් තුළින් මෙම සිව් බඹ විහරණ ද අප ජීවිතයට ගත යුතු ම ඉගැන්වීමක් බව අපට අවබෝධ වේ.

    

                   චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය, සතර බ්‍රහ්ම විහරණ, අෂ්ටලෝක ධර්ම, භාවනා ක්‍රම ආදිය මෙන් ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු ම ධර්ම කරුණු ජීවිතයට එක් කර ගැනීමෙන් ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. ලෝභ නොවී දන්දීම, ද්වේෂ සහගත නොවීම, මෝහයෙන් තොරව ක්‍රියා කිරීම ආදියෙන් අප ජීවිතය හැඩගස්වා ගත හැකි ය. ලොව පවතින සියලු දේ අනිත්‍යයි; දුකයි; අනාත්මයි ලෙස සිතා කටයුතු කළ යුතු ය. අපි සියලු සත්වයන්ට කරුණාව, මෛත්‍රිය දක්වමින් බුදු දහමේ ඉගැන්වීම් ජීවිතේට එකතු කර ගනිමින් ඒවාට අනුව ජීවිතය හැඩ ගස්වා ගනිමු.




                     

                   



  




Comments

  1. වටිනා ලිපියක්.

    ReplyDelete
  2. ජීවිතයේ අනිත්‍ය බව වටහා ගැනීමටත් , ජීවිතය කියන්නෙ මොකද්ද , යහපත් පුද්ගලයෙක් වෙන්නෙ කෙසේද යන්න තේරුම් ගන්න වැදගත් ලියවිල්ලකි. 🥺

    ReplyDelete
  3. හරවත් ලිපියක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...