දිසොන්චිනාහාමි....
🟤සංකීර්ණ සමාජයක සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික සාධක හේතුවෙන් පීඩාවට පත්වන ගැහැනියකගේ ශෝකාන්තය "දිසොන්චිනාහාමි" කෙටිකතාවෙන් පැහැදිලි වන්නේ මේ අයුරිනි.
කෙටිකතාකරුවා තමන්ට අවශ්‍ය වන අමුද්‍රව්‍ය සපයා ගන්නේ තමා ජීවත් වන සමාජ වටපිටාවෙන් ය.ගුණදාස අමරසේකරයන් "දිසොන්චිනාහාමි" කෙටිකතාව සඳහා වස්තු විෂය සකස් කරගෙන ඇත්තේ මෙරට ග්‍රාමීය පරිසරයක ජීවත් වන මිනිසුන්ගේ බාහිරට නොපෙනෙන ඛේදවාචකය කි. ප්‍රධාන චරිතය දිසොන්චිනාහාමි නම් වේ. ඇය සමාජ බලවේග හමුවේ අසරණ වූ ගැහැනියක ලෙස නිරූපිත ය.
දිසොන්චිනාහාමි ජීවත් වූයේ ඈත පිටිසර ගමක ය. පිටිසර බද මිනිසුන්ගේ ජීවන රටාව කෙටිකතාකරුවා ඉදිරිපත් කරන්නේ දිසොන්චිනාහාමි ගේ ජීවිතේට එයින් සිදු වූ බලපෑම හෙළි කරනු පිණිස යි.එය නූගත් ගැමි සමාජය කි. එම නිසා දිසොන්චිනා වැනි ගැහැනුන්ට ඇතිවන පීඩා බොහෝ ය. දිසොන්චිනා මිය යන්නේ පිළිකා රෝගයක් වැළඳීමෙනි. ඇය එම රෝගයේ බරපතලකම මිය යන තුරු ම නොදැන සිටියා ය. ගැමි සමාජය තුළ රෝගාබාධවල බරපතල තත්ත්වයක් තේරුම් ගත් අය විරල වෙති. දිසොන්චිනාහාමි රෝහල් ගත වන්නේ රෝගය උත්සන්න වූ විට ය. එහෙත් ඇයට රෝහල්ගත වූ විගස ප්‍රතිකාර ලැබෙන්නේ නැත.
"වෑඋඩතැන්නේ දවස් අටයි
කරවනැල්ල ඉස්පිරිතාලෙ කී දවසක් ද?
එතන දවස් දහයක් ඉඳලා තියෙනවා
කුරුණෑගල ඉස්පිරිතාලෙ කී දවසක් ද?
දවස් විසි දෙකයි
මාස එකහමාරක් යනකන් මේ මනුස්සයා ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරු කරන එකයි කරලා තියෙන්නේ "
දිසොන්චිනාහාමි නූගත් ගැමි ගැහැනියක බැවින් සමාජයේ වගකිව යුත්තෝ ඇයව නොතකා හැරියහ. රෝහල් බලධාරීන් ඇයට නිසි ප්‍රතිකාර ලබා දුන්නේ නම් දිසොන්චිනා ට මෙවන් ඛේදවාචකයක් අත් නොවන්නට ඉඩ තිබුණි.නූගත් සමාජ ක්‍රමය ඇගේ මරණය ඉක්මන් කිරීමට දායක වූ බව පැහැදිලි ය.
සමාජ ක්‍රමය පමණක් නොව ග්‍රාමීය ආර්ථික රටාව ද දිසොන්චිනාගේ ජීවිතය ඛේදවාචකයක් කළේ ය. දිසොන්චිනා ට මරණය රැගෙන ආ පිළිකාව හට ගන්නේ ඇගේ සැමියා පිඟානෙන් දමා ගැසීම නිසා ය. ඔහු එසේ සිදු කළේ කුමක් නිසා දැයි කෙටිකතාකරුවා ඇගේ සැමියා ලවා ම ප්‍රකාශ කරවයි.
" පොඩි එකා බඩගින්නේ අඬනවා දැකලා මම අතේ තියුණු පිඟානෙන් දමලා ගැහුවා ඒක තමයි මහත්තයෝ අන්තිමට ගෙඩිය කරේ. "
දිසොන්චිනාගේ සැමියා අතේ තිබුණු පිඟානෙන් දමා ගැසුවේ බඩගින්නෙ අඬන දරුවාට ඇය ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ය. මේ දරුවා කිරි බොන වයසේ දරුවකු විය යුතු ය. දරුවා බඩගින්නේ හඬන විට ඇය මව්කිරි නොදෙන්නට ඇත්තේ තම රූමත් බව රැක ගැනීමට නොවිය යුතු ය.දරුවාට කිරි දීමට තරම් පෝෂණයක් ඇයට නොවූ බව පැහැදිලි ය.එම ආර්ථික දරිද්‍රතාව දිසොන්චිනා ට පිඟන් ප්‍රහාරයක් රැගෙන ආවේ ය. එසේම ඇගේ රෝගයට විශේෂඥ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නේ නම් අවුරුදු 38 දී ඇය මිය නොයනු ඇත. එහෙත් එවන් ආර්ථික සවි ශක්තියක් උරුම නොවූ ක්‍රමවේදයක් තුළ දිසොන්චිනා ගේ ජීවිතේ අවසන් විය.
👍
ReplyDelete👍
ReplyDeleteසමාජය තුළ පීඩාවට ලක්වන කාන්තාව ආරක්ෂා කර ගැනීමට ඔවදනක් ගත හැකි ලිපියකි.
ReplyDelete