මල හා මිනිස් සබැඳියාව....

        


         සුන්දරත්වය මුහුකුරා යන දසුනක දැක්ම වෙත මිනිස් හද ක්‍රියා කරනුයේ මනෝචිත ව ය.මලක් දුටු කල නෙතඟ වෑහෙන අපරමිත ස්නේහය පරිසමාප්ත වචනයකට නැගිය නොහැක්කක් නොවේ ම ය. ජනිත මනෝභාව හමුවේ සිරුර පුරා දිවයන්නක් ලෙසින් එය හැඳින්වුව මනා ය. සුපුෂ්පිත මලක හා මිනිස් සබැඳියාව කෙතෙක් තීව්‍ර දෙයක් ද යන්න යථෝක්ත පාඨ  හමුවේ අපට පසක් කරගත හැකිය.

                  මල වනාහි අසුන්දරත්වය ප්‍රතික්ෂේපිත  සුන්දරත්වයේ සංකේතය බඳු ය. සොබාදහමෙන් නිර්මිත වූ පෘථුල සංකේතය නන් දෙස විසිර ඇතත් ඒ කරා නො දැනුවත් ව ම වූ බැල්මකින් හැර අවධානයෙන් ම යොමු වන්නේ කොතෙක් සීමිත පිරිසක් ද? විවිධ වර්ණයන්ගෙන් යුතු ව ප්‍රමාණාත්මක හා ගුණාත්මක අගයක් ගන්නා මල් සුලභ -දුලභ මත හා සුගන්ධය මත වත්මනේ තීරණය වන්නක් වී ඇත. එනමුත් කෙබඳු මිම්මකට හසු වුව ද මල වනාහි මිනිස් හදින් කෙතෙක් දුරස් වූවක් ද යන්න ඇසුවහොත් පැවසිය හැක්කේ අංශු මාත්‍රයකුදු නොවන තරම් වූ දුරස්ථ බවකි. එය හිතාමතා නොව ස්වභාවයෙන් ම ළබැඳි ස්නේහයක් වැන්න .

               විද්‍යාත්මක පැතිකඩ ගත්කල මල්හි වර්ණය හා සුගන්ධය තම පරාග පෝෂණය සඳහා වර්ගයාගේ පැවැත්ම යුහු ව ස්වභාවයෙන් ම පිහිටන ලද්දකි. එය එසේ විය හැකිය. මලට ලොල් බඹර,මී මැසි, සමනල රෑනක ආහාරය මත මලින් මලට යන ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මිනිස් හදට වඩා සමීපස්ථ වූවකි. අනේ මටත් සමනලයෙක් වන්නට ඇත්නම් යැයි කොතෙකුත් අසන්නට ලැබෙනුයේ අප නො හිතන එවන් සබැඳියාව නිසා නොවේ ද ? නිවෙසක අභ්‍යන්තරය ගත් කළ බොහෝ විට කෘතිම හෝ වේවා එක් මලකින් හෝ උපලක්ෂිත ය. මලකින් තොර නිවසක් ඇත්නම් එය එහෙමට ම වූ නිවසකි. බාහිරාලංකාරය ගත් කල ද නිවසෙහි නෙක විසිතුරු මලින් හෙබි ය. මනසට ලැබෙන සිහිල,පිවිතුරු බව මල් වවන්නෙකුට නිතැතින් ම නො දැනෙන්නේ නම් එය සාවද්‍ය කියමනකි .

                   පිච්ච මලක් ගත් කල අප එහි වර්ණය කෙරේ තකනුයේ අල්ප සිතුවිල්ලකි. එනමුදු සුවඳ මුහුකුරා යන ළබැඳියාවෙන් එවන් මලක් ඇඟිලි තුඩට හසු කොට නාස් පුඬුවා කරා ලං කරනුයේ ඒ ඉමිහිරි සුගන්ධය විඳගනු වස් නොවේ ද? එය ආධ්‍යාත්මය විසින් ම අප ඒ කරා ගෙන යනු ලබන්නකි. පිච්ච මල් දියේ හොවා ඉන් දිය දෝතකින් මුව දොවනුයේ සෞඛ්‍ය පැතිකඩට වඩා එසේ ගොඩනැගුණු සබැඳියාව මත ය. රෝස මලක් ගත් කල ඉන් පරිබාහිර වීම ස්වභාවික ය. එහි වර්ණය මතු නොව වර්ගයත්, ප්‍රමාණයත්,සුවඳත් කරා හදවත තීව්‍ර ලෙස ගමන් කොට ලැබෙන පිළිතුර හමුවේ එහි සුවඳ විඳ ගනු වස් යුහුසුලු වේ. නිදසුන් ලෙස රතට රතේ පිරුණු නො සිතූ විරූ විශාලත්වයකින් හෙබි සුන්දරත්වය වෑහෙන රෝස මලක ආශ්වාදය විඳ ගනු වස් ක්‍රියා කරන පිළිවෙත ද සාමාන්‍ය රෝස මලක මිහිර විඳ ගනු වස් පෙලඹෙන අයුරු ද පරස්පර ය. එනමුත් ඇතැම් විට ඉතා ම කුඩාවට හුරුබුහුටිකමින් යුතු එවන් මලක ආස්වාදය විඳ ගනු වස් මිනිස් හද ක්‍රියා කිරීම මේ හැමට ම වඩා තීව්‍ර එකක් විය හැකි ය. එය පුද්ගල රුචිය අනුව සිදුවන්නකි.  එය කෙසේ මුත් මලක සුවඳ විඳ ගනු වස් මිනිස් හදට නැගෙන ලොල් බව නම් ස්වභාවයෙන් ම ජනිත පොදු වූ, බැහැර කළ නො හැක්කක් බැව් නම් සත්‍යයකි.

                            අප මුනිඳුන් හමුවේ මලක් පිදීමට යොමු වන්නේ කිනම් අරමුණකින් සපිරි ව ද? එය ගෞරවාන්විත හැඟීමක් පෙරටු වන මොහොතක් ලෙසින් හැඳින්වූව මනා ය. මිනිස් හදේ මල කෙරෙහි ඇති වන ළබැඳියාවට වඩා ඉක්ම වූ අතිශයෝක්තියක් වැන්නක් එහි දක්නට ලැබේ. එහි බැල්ම භක්තිය උදෙසා ය. එසේ ම නිවසට ඉදිරියේ බඳුනක පිරුණු දියට සුදු වර්ණයෙන් යුතු මල් දමා ඇත්තේ ද මිනිස් හදේ ජනිත එක් ආකල්පයකට ප්‍රතිඋත්තරයක් ලෙසිනි . ඇස්වහ දුරලනු වස් ද මල ඉටු කරලන මෙහෙය ඉන් ධ්නිත නොවේ ද? එය අන්ධ විශ්වාසයක් වුව එතැන්හි ද  ප්‍රතීයමාන වනුයේ මලත් මිනිස් හදෙහි ඇති සබැඳියාවයි.  ජාතික පදනමක් මත හෝ වේවා කතුන්ගේ වරලෙහි මල් වැලක් දැවටීමෙන් අපේක්ෂා කරනුයේ කුමන අරමුණක් වුව ද ද්‍රවිඩ කතුන්ගේ කිසියම් ආකල්පයක් හමුවේ සිදුවන එම ක්‍රියාවලියෙන් ද විද්‍යමාන වනුයේ යථෝක්ත කරුණ යි. ඕනෑම කතක් තම වරලසෙහි කොනක මලක් දවටා සුන්දරත්වය බැලීමට කැමැත්තක් දක්වයි.

                     සොබාදහම ද එක් චිත්‍රණයක යෙදෙන්නේ එක් කාල රාමුවක සිට එවන් පරාසයක් ඔස්සේ ය. බක්මහ ඇතුළු වෙසක්‌ ,පොසොන් යනාදිය තෙක් ම මල්හි මවන සිත්තම් මනඃකල්පිත ය. සුන්දරත්වයේ පැහැය දම් වර්ණය යි. එවන් වර්ණයන්ගෙන් යුතු මල්හි වෑහෙන සුන්දරත්වය අන් මලක්‌ පරයයි ද? රාගික සංකේතයක් ලෙස ද ඇහැළ මල් පෙරමුණ දරයි. එනමුත් අනුරාධපුරය වැනි සැදැහැ සිත් මවන තන්හි මාවතක් පාසා තුරු අගින් වෑහෙන ඇහැළ මල් මවනුයේ පිවිතුරු හැඟීමකි. බක් මහේ මවන මැයි මල ද එයින් තොර වන්නකි. මනෝභාවික සිහිල් බව මල් මඟින් මවයි. ප්‍රකෝපිත මනසකට වුව එය සහනයක් බඳු ය.

                                  කවියෙකුගේ පන්හිඳෙන් මවන කවියකට මලින් තොර පදවැලක් අමුණයි ද එවන් කවියකුගේ කවිකම කුමට ද?එතරම් ම සමීපස්ථ බවක් මල හා කිවිඳු අතර පවතී.මලින් හෙබි පරිසරයක මැවෙන කව් සිතුවිලිවලින් මැවෙන සංකල්පනා බිහිවනුයේ එවන් සුගන්ධයකි.ළමුන් ද මල් වැනි ය. හුරුබුහුටි, මොළකැටි, සුසිනිඳු ළමා මුහුණක් දුටු විගස අප හදේ නැගෙනුයේ මලෙක සේයාව ම ය. මලක් පිරිමැද ලබන ආස්වාදයක්‌ ළමා වතින් ද අත්විඳි යි. මලක් සේ ඉපිද හැදී වැඩී නුදුරෙහි මියෙන පුද්ගල කය හමුවේ වඩම් සපිරුවන්නට මල් පාදක වනුයේ ඒ සබැඳියාව තව දුරටත් පෘථුල කරමිනි.

                     සිද්ධිවාචික ලොවින් මනඃකල්පිත ලොවක් කරා ද දියෙන් ගොඩබිමෙන් නැගෙන ඒ සුපුෂ්පිත මලේ සුගන්ධය සුළං පොදක් පාසා සුසුම් පොදකට මුහු ව හදවතක් පාසා ආදර හැඟුම් ද භක්ති ප්‍රබෝධයන් ද රැගෙන වලා ගැබින් ගුවන් තලයට මුහු වනුයේ මිනිසුන්ගේ ආත්මීය රාවය හා සබැඳියාව පසක් කරන්නාක් මෙනි. එය අතීතය ඔස්සේ වර්තමානයේ ලද්දා වූත් අනාගතය කරා ගෙන යන්නා වූත් නොබිඳෙන යදම් වළල්ලක් වැනි ය .මල් හා මිනිස් සබැඳියාවේ ඒ ස්වරූපයේ රස නුසුන් කොට අනාගත ලොවට ද අත්විඳිය හැකි නම් එය වත්මනේ ලද දායාදයක් වැන්න. ඒ සිදු වනු නියත ය.එනමුත් ඒ මල හා සබැඳියාව අද මෙන් ම නො දැනුවත් ව ම මිස දැනුවත් නොවන බැව් නම් ප්‍රත්‍යක්ෂ ය.

Comments

  1. පුංචි දෙයක් වුණත් මල හරිම සුන්දර දෙයකි. 🥺💕🌸

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...