අහස හා ළබැඳි කලාත්මක ඇස්....


          

      

                 "අහස නුඹ දුරෑත රනින්  දිදුලද්දී -මං ඔහේ බලා සිටියා නෙතට අඳුනක් දී " යන්න පැවසීමට තරම් අලංකෘත ආකාශය දෙස වශිකෘත ව බලා සිටීමට මිනිස් ඇස් තවමත් ලොල් බවින් පෙළෙයි. මේ ළබැඳියාව එසේ මෙසේ එකක් නොහේ.ඒ සුන්දර ආකාශය දෙස කෙතෙක් වෙලා බලා සිටිය ද ඉන් විඳින තෘප්තියේ  ඌන බවක් නම් නැතැ යි ඇතැම්හු පවසති. එතරමට ම සුන්දර ළබැඳියාවකින් සබැඳෙන්න තැත් කරන්නන් නැත්තේ නොවේ.

                               ඉර හඳ තාරකා ළමුන්ගෙ ලොවේ රජයන ආකාශ වස්තූන් ය. ඉර මාමා, හඳ මාමා, තාරකා මල් යනාදී ලෙස විශේෂණයන් හා රූපක මඟින් ඔවුන්ගේ ලොව රජයන මේ නිමැවුම් හැමදාට ම ළං ව ඇත්තේ සොබාදම් මැවුම්කරුගේ අපූර්වත සහසම්බන්ධයක් ගොඩනගාගන්නට රුකුල් වූවකු මෙනි. උදාගිරෙන් හිරු පෑයීම හා ඉන් විහිදුවන ආලෝක ධාරා ළමුන්ගෙ විශ්මිත ලොව තුළ ඇති මේ වස්තුවෙහි අරුම පුදුම කෙරුම් වේ. එයින් අවදි වන මුළු පරිසර දැහැන ම මේ ආකාශ වස්තුවේ ප්‍රාණයෙන් හටගත්තකැ යි ඔවුන් නො දත මුත් මේ අපූර්වත ක්‍රියාදාමයේ හැඩරුව ඔවුන් ඉවෙන් මෙන් දැනගත්තන් වනු ඇත. රාත්‍රී අහස ට එබිකම් කරන හඳ මාමා ළමුන්ගේ ලොව කිරුළක්  වන්නේ කිරි යි පැණි යි ගෙන දේ ය යන ආකල්පය මතු නිසා නොවේ. හඳ හාවාගේ  ගතිසොබා නෙතු පුරා දැක ගැන්ම ඔවුන්ට අඳුනක් හා  සම ය. ඒ හා ගොඩනැගුණු කතා වස්තූන් ඇසීමට පවා ඔවුන්ගේ තැත නිම්හිම් නැති තරම් ය. මේ ආකාශ වස්තුව ඔවුන්ට දෝත පුරා ලැබේ නම් යන අපේක්ෂණයන් ළමා මනසේ නො රැඳී තිබෙන්නේ කෙසේ ද? ඇතැම් විටෙක සඳ ඉල්ලා හඬන ළමුන් වෙනුවෙන් දිය පිරි බඳුනකට සඳෙහි ඡායාව ලබා දුන් පසු ඇති සැටියේ තප්පුලනුයේ මේ මුළු ලොව ම තමන්ට ලැබුණාක්‌ ලෙසිනි.

                  ප්‍රේමය හා ළබැඳුණු අහස් තලයේ අපූර්ව ගතිසොබා කලාත්මක ඇසකින් පහ ව නො යයි. සයුරු අද්දර සිට ක්ෂිතිජ ඉම පුරා ම අහස් තලයේ සොඳුරු බව යුගළ එක් වී ඇතැම්හු ඇති සැටියේ විඳ ගනිති. දම් පාට ආකාසය ප්‍රේමනීය සංකේතයකි. හිරු බැස යන සැන්දෑවක ප්‍රේම මූලික සත්වයා අහස දෙස බලා එහි සුන්දරත්වය විඳුමට යොමු නොවන්නේ කෙසේ වේද? වළාවක් හරහා තම පෙම්වතියට පෙම් පණිවුඩයක් යැවූ පුවතක් කාලිදසුන්ගේ මේඝදූතයෙහි ඇත. මන්දාරම පවා පෙම් සිතට ගෙනෙන්නේ සිහිලකි. හිරිකඩ පිනෙන් මතු හිරු රැස් හා මුහු වී විසිතුරු දේදුන්නක් පායා ඒම හරියට පෙම් සිතේ ඵලය දරන්නකැ යි කෙනෙකුට පෙනෙනු අරුමයක් ද? නිල් අහසේ දම් පාටට, තැඹිලි පාටට, රෝස පාටට සිතුවම් මවන කළ කලාත්මක ඇසකට එය අඳුනක් වීම ඉතින් නම් පුදුමයක් ද?

                     ගොවිඳුගේ අපේක්ෂණය නම් සැමට ම වඩා ගතික ය. දෑතේ වීරියෙන් මහ පොළොව හා ගැටී යෙහෙන් අස්වැන්නක් ලැබුමට දිය පොදක් යදින්නට අහස් ගැබ දෙස සානුකම්පිත ආයාචනාත්මක බැල්මක් හෙළන ගොවි මහත්වරුන් අතිමහත් ය. වපුරන ලද බිජුවටය පීදී සරුවට වැඩුම දැකීම ඔවුන්ගේ තිර අපේක්ෂාවයි. දිය සිඳී ගිය ඇළක්, දොළක්, වැවක්, ගඟක් බලා සිටිනුයේ අහසින් වැටෙන දිය පොදක පිපාසයෙනි. ගහකොළක වසන්තය උදා වන්නට මන්දාරමක් එන තුරු මඟ බලනුයේ ද මෙලෙස ම ය. මේ සැමකෙකුට ම අහස දෙස කලාත්මක ඇසකින් බැලීමට තරම් සිතේ ඉඩක් නැත. පිපාසිත බැල්මකින් දෑත් ඔසවා ආයාචනා ගෙන ඒමට පමණි ඔවුන්ගේ ලොවෙහි ඉඩ වෙන් ව ඇත්තේ.

                       කවි හිතකට ආකාස වස්තු විෂය වී නො තිබෙන්නේ කෙසේ ද? සොඳුරු ආකහේ නෙක විසිතුරු වස්තූන් හා සුන්දර සේ ම භයංකාර ගතිසොබා විවිධ වූ මනෝභාව ප්‍රදර්ශනය කිරීමට ගුරුකොට ගත් කවීන් නැත්තේ නොවේ. මේ අතර පෙම්ලොව රජයන පදවැල් වෙසෙසින් කැපී පෙනේ. මේ විශ්ව ධාතුව තුළ නිර්මිත නබෝ ගැබේ උත්පත්තිය විද්‍යාත්මක පැතිකඩෙහිලා විමසිය යුත්තකි. එනමුදු තාරකා, ඉර, හඳ මවන සොඳුරු නිමල ආස්වාදය මිනිස් හදට ගෙනෙන සෞන්දර්යයීය හැඟීම් හා සංකල්පනා අතිමහත් ය. ආදිතමයේ සිට ගොඩනැඟුණු සමාජ පසුබිම තුළ ආකහේ ළබැඳියාව හිතා මතා ඇති කර ගත්තක්‌ නොවන බව නම් සැබෑ ය. කෙසේ මුත් කාල්පනික ලොවෙහි ක්ෂිතිජ ඉමේ දී හෝ දෙරණ හා යා වන මේ ගගනත දෑත් අයා අල්වා ගැනීමට සිතීම බොළඳ වූවක් ම නොවන බව නම් කිව යුතු ය.

                               ළදරුවාගේ සිට අහස දෙස නෙත් අයන සැඳෑ වියේ පුද්ගලයා දක්වා විවිධ තරාතිරමෙහි ඇත්තෝ සිය කලාත්මක ඇස්    යොමනුයේ විවිධ ලෙස ය. ඒ සැම අතර නීල වර්ණ සුසැදි අහස් ගැබේ සුන්දරත්වය සොබාදම් දිනිතියගේ අපූර්ව නිමැවුමක ගතිසොබා රූපිත සේ ම අදත් එදත් හෙටත් ඒ සුන්දරත්වය ඌන නොවන්නක් බව නම් කිව යුතු ම ය. ඒ ළබැඳියාව තව තවත් තිර වනුයේ ඒ මනෝරම්‍ය බව නිසා ය.

Comments

  1. අහස කියන්නෙත් එක්තරා කලාත්මක සිතුවමකි සිත සනසන. 😍

    ReplyDelete
  2. අහස කෙතරම් සොඳුරු ද... අපූරු ලිපියකි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...