සිංහල ගද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා ව්‍යාප්තිය:සැකෙවින්...

           


                 සිංහල ගද්‍ය සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව දැනට අප අතට පත් වී ඇති කෘති අනුරාධපුර යුගයේ දෙවන භාගයට අයත් වුව ද ඊට ප්‍රථමයෙන් මෙරට ගද්‍ය සාහිත්‍යයක් නොතිබුනේ යැයි ස්ථිරව ම කිව නොහැක. මහින්දාගමනයට සමගාමී ව සිංහල බසින් ග්‍රන්ථකරණය ආරම්භ වූ බව අපේ අට්ඨකථාවන්හි දක්නා තොරතුරු අනුව නිගමනය කිරීමට හැකියාවක් තිබේ. ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ දී පමණ මහානාම රජු දවස බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියට පරිවර්තනය කරන ලද්දේ හෙළ අටුවා බැව් ඇතැම් විද්වත්හු දක්වති. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන පරිදි පාලි අට්ඨකථා සඳහා මුල් වන්නට ඇත්තේ සිංහල විචාරාත්මක කෘතීන් ය. මේවා දහ වැනි සියවස තෙක් මහාවිහාරයේ සුරැකි ව පැවැති ග්‍රන්ථයෝ ය. ධම්මපදයේ ගාථාවන් උදෙසා විරචිත විස්තෘත ජාතක කතා ද පාලියට පරිවර්තනය කිරීමට පෙර මෙරට තිබෙන්නට ඇත.මේ සියල්ලන්ගෙන් ම සමන්විත වූ ගද්‍ය සාහිත්‍යයක් තිබෙන්නට ඇතැයි තවදුරටත් අපට අනුමාන කළ හැකි ය.

                  ඉතා ඉහළ තලයක පිහිටි පද්‍ය සාහිත්‍යයක ස්ථිර සලකුණු දක්නා අපේ පුරාණ සාහිත්‍යයේ ගද්‍ය සාහිත්‍යයක් නොවූයේ යැයි කිව නොහේ. අපේ ඇතැම් රජවරු පවා ප්‍රකට කවියෝ වූහ. දෙවන මොග්ගල්ලාන හා පස් වැනි කාශ්‍යප එවැනි කවියෝ වූහ. පළමුවන අග්බෝ රජුගේ කාලයේ දොළොස් මහා කවීන් මෙරට විසූ බව කියවෙන අතර සීගිරි කැටපත් පවුරේ අට වැනි සියවසේ සිට දහවන සියවස තෙක් ලියන ලද කවි එදා පැවැති පද්‍ය සාහිත්‍යයේ ලක්ෂණ ප්‍රකට කරවන සාක්ෂීහු වෙති. කෙසේ වෙතත් ග්‍රන්ථ සාහිත්‍ය කෘති සේ හැඳින්විය හැකි  ග්‍රන්ථ කිහිපයක්‌ ම හමු වන්නේ පොළොන්නරු යුගයේ දී ය. ගුරුළුගෝමීන්ගේ " අමාවතුර" ඉන් ප්‍රථම කෘතිය යි. එසේම ගුරුළුගෝමීන්ගේ "ධර්මප්‍රදීපිකාව" නම් වූ පරිකථාව ද ගද්‍ය කාව්‍ය ලක්ෂණවලින් සමන්විත ය. එහි දැක්වෙන "සුළුකළිඟු දා පුවත" රමණීය වර්ණනාවකි. "බුත්සරණ,දහම් සරණ හා සඟ සරණ" මෙම යුග ගත තවත් ගද්‍ය සාහිත්‍යය කෘති තුනකි. නියත වශයෙන් ම බුත්සරණ විද්‍යාචක්‍රවර්තීන්ගේ කෘතියකි. පුංචිබණ්ඩාර සන්නස්ගල සූරීහු විද්‍යාචක්‍රවර්තීන් දඹදෙණි යුගයේ විසූ යැයි දක්වා දහම් සරණ හා සඟ සරණ යන කෘතීන් ද දඹදෙණි යුගයට ඇතුළත් කරති. දඹදෙණි යුගයේ ම රචිත ධර්මසේන හිමියන්ගේ "සද්ධර්මරත්නාවලිය"  ස්වාධීන මඟක් ගත් කෘතියකි. ථූපවංශය හා මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්‍ර හිමියන්ගේ පූජාවලිය ද දඹදෙණි යුගයට ම අයත් කෘතීන් ය.

                          කුරුණෑගල යුගයේ දී රචිත "පන්සියය පනස් ජාතක පොත" හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ ඇරයුමෙන් වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමති ගේ අනුග්‍රහයෙන් බිහි වූ බහු කතෘත්වයක්‌ ඇති කෘතියකි. දෙව්රද දම් පසිඟිනාවන්ගේ  "දළදා සිරිත" ද කුරුණෑගල යුගයේ රචිත තවත් කෘතියකි. අනතුරුව එළඹෙන ගම්පොළ යුගයේ දී ද්විතීය ධර්මකීර්ති නාහිමියන් විසින් විරචිත කෘතීන් දෙකක් නම් "නිකාය සංග්‍රහය හා සද්ධර්මාලංකාරය" යි. කෝට්ටේ යුගයට අයත් කෘතීන් වනුයේ උතුරුමුළ තෙරුන්ගේ "කුවේණි අස්නත්" විමලකීර්ති ධම්මදින්න හිමි ගේ "සද්ධර්මරත්නාවලියත්" ය. ඉහත දක්වන ලද ප්‍රධාන ගද්‍ය සාහිත්‍ය කෘතිවලට අමතරව මෙම යුගවල දී නාමමාත්‍ර වශයෙන් සඳහන් ව ඇති වෙනත් සන්න පොත් සංඛ්‍යාව ඉමහත් ය.

                කෝට්ටේ යුගය සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වූ අතර ගද්‍ය ඉක්මවා පද්‍ය ඉදිරියට ආ යුගයකි.ඉන් අනතුරුව එළැඹි සීතාවක, මහනුවර ආදී යුගවල දී ගද්‍ය සාහිත්‍යයේ පරිහානියක් දක්නට ලැබේ.

Comments

  1. සාහිත්‍යත් එක්තරා කලාවකි රසවිඳිය හැකි. 🥺💕

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...