වර්තමානයේ නැසී යමින් පවතින ගිහි-පැවිදි සම්බන්ධතාවය...
"වැඩි පිරිසකට යහපත සලසනු පිණිස
ලෝවැසි දනට අනුකම්පා පිණිස
දෙව් මිනිසුන්ගේ යහපත සලසනු පිණිස
හැසිරෙනු ගම් දනව්වල පිරිස"
අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝක වාසී සියලු ම සත්වයන්ට අමාදම් දියෙන් නිවී සුවපත් භාවයට පත් කරන්නට සමත්කම් දක්වනු ලැබූ සේක. උන්වහන්සේගේ සංඝ සමාජය වන භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ ගිහි පිරිස් හට ධර්මාවබෝධය ලබා දෙන්නට උත්සුක ව ක්‍රියා කරන ලෙසට ය. විශාල වශයෙන් වැරදි කළා වූ වැරදිකරුවකු ශක්තිමත් යදම් ගෙන බැඳ දමා ඇත්තා සේ ගිහි අපව ද තෘෂ්ණාව, කාමය නමැති බැඳීම්වලින් බැඳ දමා ඇත්තේ ය. එකී යදම් බිඳ දමන්නට නම් නිවැරදි ධර්මාවබෝධය නම් යතුර නිතැතිව ම අවශ්‍ය වේ. අපගේ දිවිය සාක්ෂාත් කරගන්නට පරමාදර්ශයන් ලබා දෙන භික්ෂූන් වහන්සේලා නැත්නම් පැවිදි උතුමන්ලා ව ආරක්ෂා කිරීම ඔවුනට අවශ්‍ය සිව්පසයෙන් ආදියෙන් සංග්‍රහ කිරීම ගිහි පුද්ගලයන් වශයෙන් අපට ඇති යුතුකමකි. මෙම ගිහි පක්ෂයත් පැවිදි පක්ෂයත් අතර පැවති අන්‍යෝන්‍ය බැඳීම ඉතාමත් ශක්තිමත් ය.නමුත් මෙකී අන්‍යෝන්‍ය සබැඳියාව වත්මන් සමාජය තුළ කවර ආකාරයෙන් පවතින්නේ ද යන්න ගැටලුවකි.
බුදුරජාණන් වහන්සේ සිඟාල ගෘහපති පුත්‍රයාට දේශනා කරන ලද සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුළ මෙකී ගිහි-පැවිදි සම්බන්ධතාවයට මනා අර්ථකථනයක් ලබා දී තිබේ. ගිහියා ගෙන් පැවිදි උතුමන්ට ද පැවිදි උතුමන් ගෙන් ගිහියාට ද ආදී ලෙස මෙකී අන්‍යෝන්‍ය සබඳකම් පවතී. එහිදී පැවිදි උතුමන්ට ගිහියා ගෙන් ඉටුවිය යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත.
1. මෛත්‍රී සහගත ක්‍රියා කිරීම.
2. මෛත්‍රී සහගත කතා කිරීම.
3. මෛත්‍රී සහගත සිතිවිලි පහළ කිරීම.
4. නිවසට පැමිණි විට පුද සත්කාර කිරීම.
5. ආමිසයෙන් සැලකීම.
ඉහත දැක්වෙන්නේ එකී කාරණාවන් කිහිපය යි.සංඝයා වහන්සේලා අපගේ නිවසට පැමිණි විට මෙත් සිතින් කෝප නොවී නිවුනු සිතින් යුක්තව කතා කිරීම සේ ම ක්‍රියා කිරීම ද සිදු කළ යුතු ය. එසේම සංඝයා වහන්සේලා නිවසට පැමිණි විට උන්වහන්සේලාට පැන් ආදිය සපයා දෙමින් උන්වහන්සේලාට සැලකීම ද සිදු කළ යුතු ය.
මෙපමණක් නොව යතුරුපැදියක රෝද දෙකක් ඇත්තා සේ ම ගිහි පැවිදි දෙපක්ෂය ම අතර අන්‍යෝන්‍ය බැදීමක් පවතින්නට නම් ගිහින් පුද්ගලයාගෙන් පැවති උතුමන්ට පමණක් නොව පැවිදි පක්ෂයෙන් ගිහියන් ට ද ඉටු විය යුතු යුතුකම් කොටසක් ද පවතී. එය ද සිඟාලෝවාද සූත්‍රයේ අන්තර්ගත වේ.
1.පවින් වැළක්වීම.
2. යහපත් ක්‍රියාවල යෙදවීම.
3. හොඳ හිතින් අනුකම්පා කිරීම.
4.නොඇසූ දහම් කරුණු කියා දීම.
5. ඇසූ දහම් කරුණු වඩාත් පැහැදිලි කර දීම.
6. සුගතියට මාර්ගය පෙන්වීම.
මෙලෙස පැවිදි උතුමන් විසින් ගිහියාට ඉටුවිය යුතු යුතුකම් පෙළ ගැස්විය හැක. භික්ෂු සමාජය ගිහි පිරිස් හට නිරන්තරයෙන් ම පාහේ ධර්ම කරුණු කියා දෙමින් ඔවුන්ව නිවැරදි මාවතකට ගෙන යන්නට දරනුයේ නිබඳ උත්සාහයකි.ගිහි පිරිස් හට "හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ" හොඳ නරක හරියාකාරව පෙන්වා දීමට නිබඳව අත්වැලක් ලබා දෙන්නේ මේ කියන්නා වූ පැවිදි සමාජය යි. එපමණක් නොව භික්ෂු සමාජය ගිහියන් හට කුසලාකුසල මාර්ගයන් පෙන්වා දෙමින් ඔවුන්ව එකී මාර්ගයන්ට යොමු කරලීමට ද කටයුතු කරයි.පුද්ගලයා පවතින සමාජයට අනුව අනුගත වෙමින් කෙසේ ස්වකීය වැඩ කටයුතු කළ යුතු ද යන්න ගිහි පුද්ගලයන්ට පෙන්වා දීම භික්ෂුවකගේ ප්‍රධානතම කාර්යභාරයක් වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ.එසේම ගිහියා කෙරෙහි අනුකම්පා සහගත ව ක්‍රියා කිරීම ද භික්ෂුවකගෙන් ඉටු විය යුතු වැදගත් කර්තව්‍යයකි. කෙසේ වෙතත් මෙවැනි අන්‍යෝන්‍ය සම්බන්ධතාව වර්තමාන සමාජය තුළ බිඳ වැටීමට ලක් වී ඇත් දැයි සිතිය හැක.
" ගමේ පන්සල අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙ දී අපේ මරණෙදි
අපේ ළඟ හිටියා... "
ඉහත ගීත ඛණ්ඩයෙහි සඳහන් පරිදි අපගේ සියලු ම කාර්යයන්වලට අත්වැලක් සපයන්නේ අපේ ගමේ පන්සලයි.අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ යි.නමුදු අද වර්තමාන සමාජය තුළ හතර පෝයට තියා පුර පසළොස්වක පෝයට පවා පන්සලකට නොඑන පුද්ගලයන් සිටිනා සමාජයක ගිහි පැවිදි සම්බන්ධතා සුරක්ෂිතව පවතිනවා ද යන්න සැක සහිත ය. වර්තමානය වන විට පැවිදි පිරිස් මඟින් ගිහි පිරිසට අවවාද ලබා දුන්න ද ගිහි පිරිස් මඟින් භික්ෂු සමාජයට කරන්නා වූ සැලකිලිවල අඩුවීමක් දක්නට ලැබේ.සැදැහැති බෞද්ධයන් වශයෙන් අප කළ යුතු වන්නේ අපේ ජාතිය, අපේ ආගම විනාශ කිරීමක් ද? අපේ කම, අපේ සංඝ පරපුර විනාශයට පත්වීමට ඉඩ හැරීමක් ද?සිතීම ඔබ සතු කාර්යයකි.සිතීම පමණක් නොව ඒ අයුරින් ක්‍රියා කිරීම ද අප සතු කාර්යයකි.මුදල් පසුපස හඹා යන මෙකී සමාජ ක්‍රමය පවතින තුරාවට ම අපට අපගේ භික්ෂූන් වහන්සේලාව ආරක්ෂා කරගත නොහැකි ද? ඔබ ඔබෙන් ම විමසා බැලිය යුතු ය. සුගතිගාමී මාර්ගයට යොමු කරවීමට භික්ෂු සමාජය අපට නිරතුරුව ම ලබා දෙන්නේ නිබඳ අත්වැලකි.
අවසන් වශයෙන් තුලනාත්මක සමීක්ෂණයකට යොමු වීම වටී යැයි හැඟේ.බුද්ධ කාලයේ පටන් ම මෙකී ගිහි-පැවදි සබැඳියාව නොනැවතී නොනැසී පවතින ආකාරය අපට දක්නට ලැබේ. එසේ වුව ද නිර්මල බුදු දහමින් සුපෝෂිත වූ මේ ශ්‍රී ලංකා ධරණී තලය තුළ ගිහි-පැවිදි සම්බන්ධතාව නොනැසී පවත්වා ගැනීමට කටයුතු කිරීම අප සැවොම සතු කාර්යයකි.

සිත නිවන දහමකි බුදු දහම. ❤️🙏
ReplyDeleteහරවත් ලිපියක් 👍
ReplyDelete