සද්ධර්මාලංකාරය....

                   සද්ධර්මාලංකාරය ගම්පොළ යුගයේ දී රචිත කෘතියකි ඉතිහාසඥයන්ගේ යුග බෙදීම අනුව ගම්පොළ අගනුවර වශයෙන් පැවති සමය ක්‍රිස්තු වර්ෂ 1341- 1415 දක්වා වූ අවුරුදු හැත්තෑ පහකට සීමා වූ කෙටි කාලයක් වුව ද මේ සමය තුළ පවා සාහිත්‍ය උන්නතියක ලකුණු දක්නට ලැබේ. ගම්පොළ රජ පැමිණි හත්වන බුවනෙකබාහු රජු සංඝ සම්මේලනයක් පවත්වා ශාසනික දියුණුවක් ඇති කිරීම සාහිත්‍ය ප්‍රබෝධයට හේතු වූ බව පෙනේ. ගම්පොළ යුගයේ ශාසනික පරිහානිය ඇති වූ කීප අවස්ථාවක සංඝ සංශෝධන කළ බැව් වාර්තා වී තිබේ. කෙසේ වුව ද ගම්පොළ යුගයේ විසූ පැවිදි පඬිවරුන් අතර ප්‍රකට හිමි නමක් වූ ගඩාලාදෙණි විහාරවාසී දේවරක්ඛිත ජයබාහු ධර්මකීර්ති මාහිමියෝ සද්ධර්මාලංකාරයේ කතුවරයාණෝ ය. සද්ධර්මාලංකාරය ලංකා ශාසනික ඉතිහාසය සංක්ෂිප්ත ව දක්වන නිකාය සංග්‍රහය හා පාලි රසවාහිනියේ කතා වස්තු පදනම් කරගෙන සංගෘහිත විශාල ගද්‍ය ග්‍රන්ථයකි.බාලාවතරණ සන්නය, ජිනබෝධාවලිය, නිකාය සංග්‍රහය හා ගඩලාදෙණි සන්නස ද මේ හිමිපාණන් ගේ කෘති බැව් ඇතැම්හු දක්වති.

                      ගද්‍ය සාහිත්‍ය කෘති පමණක් නොව පද්‍ය සාහිත්‍ය කෘති ද ගම්පොළ යුගයේ දී රචනා වී තිබේ. සිංහල පද්‍ය සාහිත්‍යයේ දූත කාව්‍යාරම්භය ගම්පොළ යුගයේ දී ආරම්භ වූ බැව් ඇතැමුන්ගේ මතය වී තිබේ. අද අප අතට පත්ව ඇති පැරණිතම දූත කාව්‍ය දෙකක් වන (එනම් සන්දේශ කාව්‍ය )මයුර සන්දේශය හා තිසර සන්දේශය ලියැ වී ඇත්තේ ගම්පොළ යුගයේදී ය. එමතු ද නොව ඉතා ස්වල්ප කාලයක් පැවති රාජධානියක් වූ දැදිගම රජ කළ පස්වන පරාක්‍රමබාහු රජුට දෙවිනුවර උපුල්වන් දෙවියන්ගේ පිහිට ඉල්ලා ලියූවකි තිසර සන්දේශය. කවීශ්වර නම් පඬිවරයකු මයුර සංදේශය ලියන ලද්දේ ගම්පොළ පස්වන බුවනෙකබාහු රජතුමා හා රාජකීය පවුලේ සාමාජිකයන්ට හා මැති ඇමතිවරුන්ට සෙත් පතා උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා දීම උදෙසා ය. උපුල්වන් දේව ආරක්ෂාව හා වන්දනාව මේ වන විට වැදගත් තැනක් ගත් බැව් පෙනේ.


 සද්ධර්මාලංකාරයට ආශ්‍රය වූ පොත පත....

  

                         සද්ධර්මාලංකාරයට ආශ්‍රයභූත වූයේ පාලි රසවාහිනියත්, අනාගත වංශය හා අවදානකල්පලතා ආදී වූ ග්‍රන්ථයෝ ය. රසවාහිනියේ එන කතා රට්ඨපාල තෙරුන් වහන්සේගේ (මුලින් සිංහලෙන් පැවති කතා) පාලියෙන් ලියා තැබූහ. එම කතා වේදේහ නම් තෙරුන් වහන්සේ විසින් සංස්කරණය කොට, නිරවුල් කොට සකස් කරන ලද බැව් කියැවේ. මෙම රසවාහිනියට පසුබිම් වූයේ සහස්සවත්ථු නම් අට්ඨකතාව බව තවදුරටත් සඳහන් වේ. රසවාහිනිය මූලික වශයෙන් ආශ්‍රය ව ඇතත් සද්ධර්මාලංකාරය උදෙසා විනය අටුවා, බුද්ධවංශ අටුවාව,මහාවංශය, අනාගත වංශ අටුවාව ආදී ග්‍රන්ථ ද ඇසුරු කළ බැව් පෙනේ.

                               ඉහත සඳහන් ග්‍රන්ථ ආශ්‍රිතභූත වූ නමුත් සද්ධර්මාලංකාර කතුවරයා තම අභිමතය පරිදි ඒවා සකස් කර ගත් බවට නිදසුන් ද පෙනෙයි.නිදසුනක් සේ දොළොස්වැනි බෝධිරාජ වර්ගයේ එන ඓතිහාසික වශයෙන් උසස් තැනක් ද ගන්නා ලංකා ශාසන ප්‍රතිෂ්ඨාපන කතාවක් දඹදිව කතාවලට සංග්‍රහ වී ඇති පද්මාවතී කතාවත් අග එන මෙතෙන්‍ය වස්තුවක් කතා පාදයන් වහන්සේ අමුතුවෙන් ම සංග්‍රහ කළ කොටස් වන අතර ඓතිහාසික කතාව රසවාහිනියේ ද මුද්‍රිත පිටු එකොළොසක් වන අතර මෙහි දී පිටු හැට හතක් වූයේ සමන්තපාසාදිකා,මහාවංශ ආදිය ආශ්‍රයෙන් අමුතුවෙන් ම සංග්‍රහ කළ නිසා ම බැව් දෙණගම ධම්මාලෝක නාහිමියෝ තම සද්ධර්මාලංකාරයේ(තෙභාතික වර්ගය )ප්‍රස්තාවනාවේ දක්වති.

Comments

  1. වටිනා ලිපයක් 👍

    ReplyDelete
  2. සාහිත්‍ය ගැන අවබෝධයක් ගන්න පුළුවන් ලිපියකි.

    ReplyDelete
  3. ගද්‍ය , පද්‍ය යනු එක්තරා කලාවකි.😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...