•••••••••••?

  සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද?    

          " මිනිසාට මුහුණ පාන්නට සිදුවන දුක්, සැප ආදී සියල්ල සිදු වන්නේ පූර්ව කර්මයෙන් ය".යන්න දුර්මතයකි. විවිධ විෂම ලෝකයෙහි සියලු දෙය ම පූර්ව කර්මයෙන් සිදුවේ ය යන නියතිවාදය බුදුදහම ප්‍රතික්ෂේප කරයි. ලොව හැම සිදුවීමකට ම ක්‍රියාවකට ම මෙන් ම සෑම වස්තුවක ම ඇතිවීම හා පැවැත්ම කෙරෙහි විවිධ හේතු බලපාන බව බුදුරජාණන් වහන්සේ වදාළහ. පටිච්චසමුප්පාද ධර්මය විවරණය වන්නේ එම න්‍යාය යි. 

                       අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍රයෙහි මෙන් ම සංයුත්ත නිකායේ වේදනා සංයුත්තයේ මොළිය සීවක සූත්‍රයෙහි ද සඳහන් වන අන්දමට අපගේ සැප හා දුක් විඳීම්වලට බලපාන හේතු අටක් වෙයි. වාතය,පිත, සෙම මේ තුන්දොස් ම කිපීම (සන්නිපාතය), රිතු විපර්යාසය, විසම දේ පරිහරණය කිරීම, අන්‍යයන්ගේ උපක්‍රම සහ කර්ම විපාක යනු ඒ අටයි.


"පිත්තං සෙම්හං ච වාතො ච

  සන්නිපාතා උතුනිච

  විසමං ඕපක්කමිකො ච

  කම්ම විපාකෙන අට්ඨම "


                        මෙයින් අපට පැහැදිලි වන්නේ මිනිසාට මුහුණ පාන්නට සිදු වෙන සැප, දුක්, උපේක්ෂා යන සියලු වින්දනයන් කෙරෙහි බලපාන හේතු අටක් ඇති අතර කර්මය ඉන් එකක් පමණක් වන බවයි.


                     ලොව ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් ගැන ද බුදු සමයේ ඉගැන්වේ. එනම්,

1) උතු නියාම

2)බීජ නියාම

3)කම්ම නියාම

4)ධම්ම නියාම

5)චිත්ත නියාම

යනු යි.

" උතුබීජ නියාමොච -කම්ම ධම්ම නියාමතා

  චිත්තස්සච නියාමොති- ඤෙය්‍ය පංච නියාමතා"


1) උතු නියාම

                  උතු නියාම යන්නෙන් අදහස් කරන්නේ සියලු ම භෞතික නියාමයන් ය. රිතු ගුණය නිසා සමාන ජාතික ගස්වැල්වල කිසිවකුගේ බලපෑමකින් තොරව නියමිත කාලයෙහි මල්ඵල හට ගනී. හේමන්ත කාලයෙහි ශීතල අධික වෙයි. ග්‍රීෂ්ම කාලයෙහි උෂ්ණය අධික වෙයි. වර්ෂා කාලයෙහි වැසි ඇති වෙයි. නියඟ කාලයක බීමට පවා ජලය හිඟ වී යයි. වගාවන් පවා පාළු වී ආහාර ද හිඟ වී යයි. මෙසේ කාලගුණය වෙනස් වීමේන් සිදුවන බලපෑම උතු නියාමයයි.

2) බීජ නියාම

                  ජීව විද්‍යාත්මක නියාම ධර්මයන් බීජ නියාමයට අයත් ය. ශාක, බීජ, යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වන ආකාරය පිළිබඳ නියාමයක් මේ බීජ නියාමයට අයත් වේ. දෙමාපියන්ගේ ආදරයෙන් හිමි වූ ලක්ෂණ අපට ඇත.ඇතැම් විට පියාට හෝ මවට සමාන වෙයි. නිවුන් දරුවෝ බොහෝ දුරට එක සමාන විය. ඒ ඒ බීජයන්ට හා ශාකයන්ට ආවේණික ලක්ෂණ ගස්වැල්වල ඇත.පොල් ගෙඩියේ කටුවේ ඉදිරිපස සිදුරු ඇතිවීම; සූර්යකාන්ත මල් ඉර දෙසට හැරීම; ඇතැම් ගස් වල අරටු ඇතිවීම හා ඇතැම් ගස්වල අරටු නැති වීම; පොල්,තල්, අඹ,දොඩම් ආදී ගස්වල ඒ ඒ වර්ගයේ ගෙඩි හටගැනීම බීජ නියාමයට අනුව ම සිදු වෙයි. ඒ සඳහා වෙනත් බලපෑමක් නැති අතර එය බීජ නියාමය වෙයි.

3)ධම්ම නියාමය

                    ආලෝකය ලැබෙන විට අඳුර පහවෙයි. ජලය හැමවිට ම පහත් බිම් කරා ගලා යයි. බෝධි සත්ත්වයන් වැනි ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ගුණ මහත්වය නිසා පොළෝ කම්පා වීම ආදිය සිදු වෙයි. මෙය ධම්ම නියාමය යි. හේතු-ඵල ධර්මය ධර්ම නියාමය හැටියට ද තේරුම් කළ හැකිය.

4)චිත්ත නියාම 

                මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නියාමයන් චිත්ත නියාමය යි.රූප ආදී අරමුණක් චක්ෂුප්‍රසාද ආදී ප්‍රසාදයන්හි ගැටුණු කල්හි කිසිවකුගේ සංවිධානයක් මෙහෙයවීමක් නැතිව ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇතිවීම චිත්ත නියාමය යි. අපගේ ශරීරය මුළුමනින් ම වාගේ ක්‍රියාත්මක වනුයේ අපට නොපෙනෙන සිතෙහි බලයෙනි. සිතෙහි පවතින වේගාත්මක බව නිසා ඉතා සුළු කාලයක් තුළ දී බොහෝ සිත් ඉපිද නැතිවී යයි. සිතේ මේ වේගාත්මක ක්‍රියාකාරීත්වය ඇති කරන බලය චිත්ත නියාමය වශයෙන් තවදුරටත් හැඳින්විය හැකි ය.

5)කම්ම නියාම

                  ඒ ඒ කුසල අකුසල කර්මයන්ට අනුව විපාක ලැබීම කම්ම නියාමය යි.

              

             මේ අන්දමට උතු නියාම, බීජ නියාම,ධම්ම නියාම,චිත්ත නියාම වශයෙන් පුද්ගලයා කෙරෙහි බලපාන කරුණු කිහිපයක් ඇති බවත් කර්ම නියාමය ඒ අතර ඇති එක් කරුණක් පමණක් බවත් අපට තේරුම් ගත හැකි ය. එබැවින් නියාම ධර්ම තුළින් ද අපට ප්‍රකට වන්නේ බුදු දහම අනුව සියල්ල කර්මයෙන් සිදු නොවන බවයි.


 සියලු ම කර්ම විපාක විඳිය යුතු ද?

        

               සසර අප විසින් කරන ලද සියලු ම කර්මවලට එලෙසින් ම විපාක විඳිය යුතු ම ද?එය වෙනස් කළ නොහැකි ද? යන ප්‍රශ්නය ද කර්ම සංකල්පය යටතේ සාකච්ඡා විය යුතු කරුණකි. අංගුත්තර නිකායේ තික නිපාතයේ ලෝණඵල වග්ගයේ 9 වන සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ කර්ම කරන ආකාරයෙන් පුරුෂයා එහි විපාක විඳින්නේ ය.(යථා යථායං පුරිසෝ කම්මං කරොති තථා තථානං විපාකං පටිසංවේදියතීති ) යන අදහසට පිළිතුරු දෙමින් සත්‍ය තත්ත්වය එසේ වී නම් බඹසර රැකීමෙන් ඵලක් නොවන බවත් දුක් නැති කිරීම නොකළ හැකි කාර්යයක් බවත් වදාළහ.

                    ඉන් අනතුරුව කරුණු පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ යම් වේදනීය කර්මයක් කරයි නම් ඊට අනුරූපව විපාක විඳිය යුතු බව පෙන්වා දුන්නාහ. එහි වේදනීය කර්මය නම් මොනවා දැයි පැහැදිලි කරගත යුතු ය. වේදනීය යන්නෙ අර්ථය නම් විඳිය යුතු හෙවත් වේදනා ඇතිකරවන සුළු යන්න යි. යම් ක්‍රියාවක් කරන විට අප සිත තුළ තදින් කා වැදී යා නම්, සිතෙහි ඉතා ගැඹුරු ලෙස සටහන් වේ නම්,එම සිද්ධිය නැවත නැවතත් අප සිතට නැගේ නම්,එය වේදනීය කර්මයකි. එවන් වේදනීය කර්මවල විපාක පුද්ගලයාට විඳීමට සිදුවෙයි. පංච ආනන්තරීය කර්ම එවැනි වේදනීය කර්ම ගණයට ඇතුළත් වෙයි.එවැනි වේදනීය නොවූ බලවත් නොවූ කර්මවල විපාක කුසල් කිරීමෙන් හා භාවනානුයෝගී වීමෙන් බොහෝ දුරට වළකා ගත හැකි ය. අංගුලිමාල කතා පුවත මීට හොඳ නිදසුනකි. සිය ගණනක් මිනී මැරුව ද භාවනා කොට අරහත් ඵලයට පත් වූයේ එම අකුසල් කර්ම විපාක දීමට අවස්ථාවක් නොතබා ය. සියලු කර්ම නැති නොකළ ද තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් ම නිවන් දැකීමට හැකි බව සඳහන් වීමෙන් ද මෙය වඩාත් තහවුරු වෙයි.

"යස්ස කම්මං කතං පාපං

 කුසලේන පිථියති 

 සො ඉමං ලොකං පභාසෙති

 අබ්භා මුත්තොව චන්දිමා"

         "යමෙකු කරන ලද පාප කර්ම කුසල කර්මයන්ගෙන් වැසේ ද ඔහු වළාකුලෙන් මිදුණු සඳ මෙන් මෙලොව ආලෝකවත් කරයි. " යන ධම්මපද ගාථාවෙන් ද ප්‍රකට වන්නේ ඇතැම් කර්ම වෙනස් කළ හැකි බවයි. සියලු ම කර්මවල විපාක විඳ අවසන් කිරීම අවශ්‍ය නොවන බවයි. මේ අනුව බලන විට ද නැවත නිසි මඟට පිවිසිය හැකි බවයි. නිතර කුසල්හි යෙදේ නම් අකුසලයන්ගෙන් නියම ඵල එලෙසින් ම විඳීමට සිදු නොවන බවයි. එනිසා අපට විපාක භුක්ති විඳීමට සිදු වනුයේ විපාක දීමට ඉඩ සලසා දෙන කර්මයන්ට අනුව පමණි.කුසල් කිරීමෙන් බොහෝ දුරට අහිතකර විපාකයන්ගෙන් අපට නිදහස් විය හැකි ය.

                          වීර්යය, ප්‍රඥාව හා අධිෂ්ඨානය වැනි ගුණාංග බුදුදහම ඉතා උසස් ලෙස සලකයි.සියල්ල නියමයක් වශයෙන් සිදුවන්නේ පෙර කළ කර්මයන්ට අනුව නම් වීර්යය, අධිෂ්ඨානය වැනි ගුණධර්මවලින් ඵලක් නොවේ. එහෙත් වීර්යය, අධිෂ්ඨානය වැනි ගුණධර්ම තුළින් අපට කර්මය ජය ගත හැකි ය. ආර්ය අෂ්ටාංගික මාර්ග අංගයක්‌ වන සම්මා වායාම ප්‍රගුණ කරන්නේ නම් අපට පාප කර්මයන්ගේ අනිටු විපාකවලින් යම් ප්‍රමාණයකට නිදහස් විය හැකිය.

Comments

  1. වැදගත් ලිපියක් 👍

    ReplyDelete
  2. වටිනා ලිපියකි. 💕

    ReplyDelete
  3. ජීවිතයට ගන්න පුළුවන් වටිනා කරුණු වල එකතුවක්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...