සිංහල සාහිත්‍යය කෙරෙහි ජාතක කතාවල බලපෑම...

                  අප රටෙහි සාහිත්‍ය කලා කෙරෙහි ජාතක කතා තරම් බලපෑ අවශේෂ සාහිත්‍යාංගයක් නොමැති තරම් ය. බෞද්ධයන්ගේ ධර්ම කෝෂ්ඨාගාරයක් බඳු වූ ජාතක කතා කුරුණෑගල රජ කළ 4 වැනි පරාක්‍රමබාහු රජු දවස වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමතියාගේ අනුග්‍රහයෙන් පාලියෙන් සිංහලට පරිවර්තනය කළ නමුත් මේ රටට බුදු සමයේ හදුන්වා දුන් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවසේ පටන් ම ජාතක කතා මෙරට ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය වූ බවට නිදසුන් කොතෙකුත් හමුවේ. සිංහල බෞද්ධ සංස්කෘතියේ සෑම අංගයක් කෙරෙහි ම ජාතක කතාවන්හි බලපෑම සෘජු ව හෝ වක්‍ර ව දක්නට ලැබෙයි.

                              බුදුරජාණන් වහන්සේ පූර්ව උත්පත්තිය පිළිබඳ කතා වීම,ජාතකයන්හි දැක්වෙන සදූපදේශ හා ධර්මෝපදේශ, ඒවායේ නිරූපිත චරිත,ජාතක කතා කරුවන්ගේ කතා ශෛලිය යන මේ සියල්ල ජාතක කතා ජනප්‍රිය වීමට හේතු වූවාට සැකයක් නැත. එපමණක් ද නොව ජාතක කතා දේශනා කිරීම බෞද්ධ භික්ෂුවගේ කටයුත්තක් සේ සැලකීම ජාතක කතා සම්ප්‍රදාය අඛණ්ඩ ව වසර දහස් ගණනාවක් සිට අද දක්වා ම පැවත ඒමට හේතු විය.ජාතක පොත සම්පාදනය කිරීමට ප්‍රථම ජාතක කතා සම්පූර්ණයෙන් ම වනපොත් කොට (කටපාඩම් කොට) ඒවා දේශනා කිරීම "ජාතක භාණක" නම් වූ භික්ෂූන් වහන්සේලා වෙත පැවරුණු කාර්යය වූ බවට සාධක අප සතුව තිබේ. නිදසුනක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසේ රජ කළ චූලනාග රජ රුහුණේ තුළාධාර නම් විහාරයේ වැඩවිසූ මහාපදුම ජාතක භාණක තෙරුන් දෙසූ මහා "කපි ජාතකය" ඇසූ බවත් එක් භික්ෂූන් වහන්සේ නමක් මහා වෙස්සන්තර ජාතිකය ඇසීම සඳහා මාගම සිට දිගාමඬුල්ල දක්වා යොදුන් නවයක දුර කතර පයින් ම වැඩි බවත් සඳහන් වේ. මෙරට "කතා ඇසීමේ සම්ප්‍රදාය " කෙරෙහි ජාතක කතාවල බලපෑම කොතරම් දැයි මින් අනුමාන කළ හැකි වේ. මහානාම රජු දවස අභයගිරි විහාරයේ කලක් විසූ පාහියන් නම් වූ චීන ජාතික භික්ෂූන් වහන්සේගේ වාර්තාවල ආගමික උත්සවයක දී පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ජාතක කතා නිරූපිත චිත්‍ර වස්ත්‍ර හෙවත් පැතිකඩ පන්සියයක් පමණ තමන් දුටු බව සඳහන් කර තිබේ.

                      ජාතක කතා ලිඛිත සම්ප්‍රදායක් මෙන් ම දේශනා කිරීමේ සම්ප්‍රදායක් ද චිත්‍ර මූර්ති ආදී කලා සම්ප්‍රදායක් වශයෙන් ද පැවති බවට සාක්ෂි එමට ය. රුවන්වැලි සෑ ධාතු ගර්භයේ ජාතක කතා සිතුවම් කර ඇති බව වංශ කතාවන්හි සඳහන් වන අතර මෙරට පමණක් නොව අවශේෂ බෞද්ධ රටවල පවා එකී සම්ප්‍රදායන් තුබූ බවට සාක්ෂි එමට ය. පන්සිය පනස් ජාතක කතා පොත හැරුණු විට ජාතක කතා ඇසුරින් බිහි වූ විශාල පරිවාර සාහිත්‍යයක් ද සිංහලයෙහි දක්නට ලැබේ. මේවා ගද්‍ය හා පද්‍ය වශයෙන් මූලික ව දෙයාකාර ය. එපමණක් ද නොව ජාතක කතා අටුවා, ගැටපද හා සන්නස් සාහිත්‍යයක් ද පුරාතන යුගයේ දී ලියැවී තිබේ. පද්‍ය සාහිත්‍යයට ද ජාතක කතා වස්තු විෂය වී තිබේ. අනුරාධපුර යුගයේ ලියැවෙන්නට ඇතැයි සැලකෙන "අසක් දා කව" ඉන් එකකි. දැනට අප අතට පත්වී ඇති පද්‍ය සාහිත්‍යාවලිය එනම් "සසදාවත, මුවදෙව්දාවත,කවි සිළුමිණ, කාව්‍යශේඛරය, ගුත්තිලය,සඳකිඳුරු දා කව, කුස ජාතක කාව්‍ය,දහම් සොඬ ජාතක කාව්‍ය " වැනි කාව්‍ය ග්‍රන්ථ ඉහත කී ජාතක කතා තුළින් පෝෂණය වූ සිංහල පද්‍ය සාහිත්‍යයේ ප්‍රකට ග්‍රන්ථ කිහිපයකි.

                             ජාතක කතා ආශ්‍රිත ව ලියැවුණු සුවිශාල පරිවාර සාහිත්‍යයට ඇතුළත් වෙනත් කෘති කිහිපයක් මෙසේ ය.

 •ජාතක අටුවා ගැටපදය

 •ජාතක කතා සන්නස

 •වෙසතුරු දා සන්නස

 •අටදා සත්‍යය

 •උමංදා ගැටපදය

 •දෙමළ ජාතක ගැටපදය

                      මහනුවර සමය  වන විට දෙමළ බසෙහි හසල පඬිවරයකු වූ කිරිමැටියාවේ කිවිඳු විසින් දෙමළ මූලාශ්‍රයක් පදනම් කරගනිමින් මහා "පදරංග නම් ජාතක කාව්‍යය" රචනා කළ අතර "ඉතිබිසෝ හා සාගිනිකන්ද" නම් කාව්‍ය දෙක පන්සිය පනස් ජාතක පොතේ නොදන්නා කතා දෙකක් පදනම් කර ගනිමින් රචිත කෘති දෙකකි.

                            සිංහල ගද්‍ය සාහිත්‍යකරුවන් ද තම රචනා උදෙසා නිදසුන් කතා, උපමා කතා පමණක් නොව නිර්මාණාත්මක රචනා උදෙසා ද ජාතක කතා ආශ්‍රය කළ බැව් බුත්සරණ,අමාවතුර, සද්ධර්මරත්නාවලිය, පූජාවලිය ඈ ග්‍රන්ථ පරිශීලනයෙන්  පෙනේ.

                  පුරාතන සාහිත්‍යයේ පමණක් නොව නූතන සාහිත්‍යයේ ද ජාතක කතා වස්තු කරගත් නිර්මාණ බොහෝ ය. නාට්‍ය හෙවත් දෘශ්‍ය කාව්‍ය උදෙසා ජාතක කතා නූර්ති හා නාඩගම් සම්ප්‍රදායට අයත් කෘතිවලට පාදක වී තිබේ. සුප්‍රකට "මනමේ, ලෝමහංස, වෙස්සන්තර, මහාසාර, පබාවතී" වැනි සරච්චන්ද්‍ර නාට්‍ය උදෙසා ජාතක කතා උපයුක්ත කරගෙන තිබේ. නුතන පද්‍ය කෘති උදෙසා ද "කණවේර ජාතකය හා අසක්දා ජාතකය" යොදා ගෙන ඇති බැව් පෙනේ. සරච්චන්ද්‍රයන්ගේ "විලාසිනියකගේ ප්‍රේමය" නැමැති චම්පු කාව්‍ය රීතිය ගත් නවකතාවට පාදක වී ඇත්තේ "කණවේර ජාතකය" යි.

                      ජාතක කතා අපේ ජනශ්‍රැතිය හා ජන සාහිත්‍යයට බලපා ඇති ආකාරය ද මෙහි දී විශේෂයෙන්  සිහි කළ යුතු ය. මෙරට සිංහල බෞද්ධ ජන ජීවිතය උදෙසා ජාතක කතා තරම් බල පෑ අවශේෂ සාහිත්‍යයක් නොමැති තරම් ය.

                       සිංහල ජන කවිය උදෙසා ජාතක කතා වස්තු වූ අන්දම ප්‍රකට ය. වෙස්සන්තර ජාතකය, සඳ කිඳුරු ජාතකය, ගුත්තිල ජාතිකය වැනි ප්‍රකට ජාතක කතා තුළින් බිහි වූ ජන කවි රැසකි. "වෙස්සන්තර හෑල්ල" මහනුවර යුගයේ දී බිහි වූ ප්‍රකට ජන කවි නිර්මාණයකි.

                   සිංහල ජනවහර විවිධාකාරයෙන් පෝෂණය කිරීම උදෙසා ද ජාතක කතා ඉමහත් සේ බලපා ඇති බැව් අපි දනිමු. ගැමි උපමා, උපහැරණ, ප්‍රස්තාව පිරුළු රැසක් ම ජාතික කතා සාරය  පිඬු කොට බිහි වී තිබේ. "වෙස්සන්තර රජ්ජුරුවෝ දරුවන් දන් දුන්නා වගෙයි", "හරි ම පූජකයෙක්"," මූ නම් හරි ම දේවදත්තයෙක්", "මූසිල වගේ ගෝලයෙක්"," තලතා දේවියගේ නුවණ වගේ", "මහෞෂධ පණ්ඩිතයන්ගේ නුවණ වගේ" ඒ සඳහා නිදසුන් ස්වල්පයකි.

                        


Comments

  1. සිංහල භාෂාවත් එක්තරා කලාත්මක රසවින්දනයකි.

    ReplyDelete
  2. සාහිත්‍යය රස විදින්නම ඕන.....සිංහලේ රස දැනෙන්න....

    ReplyDelete
  3. වැදගත් ලිපියක්. වටිනවා 👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...