ජාතක කතා හා නූතන කෙටිකතා...

                     නූතන කෙටිකතා හා ජාතක කතා අතර ඇති සමාන අසමාන ලක්ෂණ අපේ බොහෝ සාහිත්‍යකරුවෝ අවධානයට යොමු කොට ඇත්තාහ.සන්දර්භය අතින්  නොව අන්තර්ගත වස්තු අතින් ඇතැම් ජාතක කතා වර්තමාන බටහිර උසස් නිර්මාණයන්ට ළං වන බැව් ඔවුහු දක්වති.මේ මතයේ පිහිටි සාහිත්‍යධරයන් අතර මාර්ටින් වික්‍රමසිංහයෝ ප්‍රමුඛ වෙති.වික්‍රමසිංහ වහල්ලු කෙටිකතා සංග්‍රහයේ ප්‍රස්තාවනාවේ ජාතක කතා පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ.

         "වස්තු විසින් පමණක් නොව ඇතැම් විට වස්තු වර්ණනාව විසින් ද ජාතක කතාවක් බටහිර කෙටිකතාවට ළං වෙයි. බටහිර කෙටිකතාව ජාතක කතාවට වඩා උසස් වනුයේ වස්තු විකාශනය විසිනි."

                        " ජාතක කතාවේ කෙටි කතා ලක්ෂණ" යන හිසින් මහාචාර්ය විමල විජේසූරිය විසින් සම්පාදිත "ජාතක කතා"සංග්‍රහය නම් කෘතියේ ප්‍රස්තාවනාවෙන් දැක්වෙන අන්දමට නූතන කෙටිකතාවල ඇතැම් ලක්ෂණ ජාතක කතා තුළ ද දක්නට ලැබෙන බව පෙන්වා දී තිබේ.ඒවායින් කිහිපයක් මෙසේ ය.

(අ) මිනිස් ජීවිතය කේන්ද්‍ර කරගත් කිසියම් තේමාවක් මත ගොඩනැගීම.

(ආ) එයට ප්‍රධාන චරිතයක් හා ප්‍රධාන චරිතය සමඟ ගැවසෙන අතුරු චරිත ඇතුළත් වීම.

(ඉ) සමාජයේ සෑම තරාතිරමකට අයත් පුද්ගල පුද්ගලාවියන්ගේ චරිත ඇතුළත් ව තිබීම.

(ඊ) එකිනෙකට හේතුඵල වශයෙන් බැඳී සිටින සිද්ධි මාලාව.

(උ) අවස්ථාවෝචිත ව පුද්ගලානුකූල දෙබස්,සංවාද, පරිසර වැනුම්, සංකේත,ධ්වනිතාර්ථ, දේශීය උපමා, ප්‍රස්ථා පිරුළු ද යොදමින් ආඛ්‍යානය සැකසීම.

(ඌ) මිනිස් චරිතයන්ගේ ගුප්ත දුරාවබෝධ ලක්ෂණ සියුම් ව විග්‍රහ කිරීම.

(එ) මානව සංහතියේ ප්‍රගමනයට යථායෝග්‍ය දැනුම හා ප්‍රඥාව ලබා දෙමින් උපේක්ෂා දෘෂ්ටියකින් චරිත දෙස බැලීම.

               සෑම ජාතක කතාවක ම ඉහත දක්වන ලද ලක්ෂණ දක්නට නොලැබුණත් බොහෝ අවස්ථාවන්හි එකී ලක්ෂණ ඉස්මතු වන ජාතක කතා පොතෙහි දක්නට ලැබේ.

                    එසේ වුව ද ජාතික කතා වත්මන් කෙටිකතාවේ සියලු අංග ලක්ෂණවලින් පරිපූර්ණ යැයි වරදවා වටහාගත යුතු නැත. ආකෘතිය අතින් සෑම ජාතක කතාවකට ම ඇත්තේ ඒකාකාර වූ සන්දර්භයකි. වර්තමාන කතාව,අතීත කතාව,සමෝවධානය සෑම ජාතකයක ම පොදු සන්දර්භය යි.එහෙත් වර්තමාන කෙටිකතා තුළ විවිධාකාර වූ සන්දර්භ දක්නට ලැබේ. ඒවා තත් වස්තුව හා අත්‍යන්තයෙන් ම ගැළපෙන අයුරු රස ජනනය උදෙසා නිර්මාණය කර ඇත්තේ ය.

                  වත්මන් කෙටිකතා සැබැවින් ම තත්‍ය ලෝකය හා බද්ධිත ය.ජාතක කතාවල මෙන් ආකාස්මික බලවේග, හාස්කම්, ප්‍රාතිහාර්ය වැනි සිද්ධි ඇතුළත් නොවේ.

                ජාතක කතාවල නිරූපිත චරිත සමාජයේ සෑම තරාතිරමකට ම අයත් පුද්ගලයන් පිළිබඳ සංගෘහිත වී ඇතත් බොහෝ විට එහි දක්නට ලැබෙන්නේ වර්ග චරිතයෝ ය. උම්මග්ග ජාතකය, අන්ධභූත ජාතකය වැනි ජාතකයන්හි ජාතක කතාවල මුඛ්‍ය චරිතය වූ බෝධිසත්වයන්ගේ චරිතය සංකීර්ණ ලක්ෂණ සහිත ව නිරූපණය වී ඇත. අන් සෑම ජාතක කතාවක ම පාහේ නිරූපිත බෝසත් චරිතය සර්ව ශුභ චරිතයක් සේ නිර්මිත ව ඇත. ඒ අතර දේවදත්ත චරිතය සර්ව අශුභ චරිතයක් සේ නිර්මිත ව ඇත.



Comments

  1. පොත් කියවීමෙන් රසවින්දනයක් පමණක් නොව ජීවිතයට නව අරුත් එක් කර ගත හැක.🌸

    ReplyDelete
  2. වැදගත් ලිපියක් 👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...