මේ තරම් සියුමැලි ද කළුගල්...
නූතන කලාකෘති අතර ගීතයට වැදගත් තැනක් හිමි වේ. එය වර්තමානයේ ජනප්‍රිය කලා මාධ්‍යයක්ව පවතී. නාඩගම් ගීයෙන්, නූර්ති ගීයෙන්, ග්රැමෆෝන් ගීයෙන් වර්තමාන සිංහල ගීතය බිහි වී ඇත. ගීතයක සාර්ථකත්වයට ත්‍රිපුද්ගල සුසංයෝගයක් තිබිය යුතු ය.පද රචකයා, තනු නිර්මාපකයා සහ ගායකයා යන තිදෙනාගේ සුසංයෝගයෙන් හොඳ ගීතයක් බිහි වේ.
ගීත නිර්මාණයක දී ගී පද මාලාවට හිමිවනුයේ වෙසෙස් ස්ථානයකි.එය ගේය පැබැඳුමක් විය යුතු ය. ගේය පබැඳුමක් වූ පමණින් ම ගීතයක් ද නොවේ. එය හොඳ කාව්‍ය සංකල්පනාවක් ද විය යුතු ය. නූතන ගී පද රචකයෝ විවිධ තේමාවන් සහ ආනුභූතීන් ඔස්සේ ගී පබඳිති. රජිව් වසන්ත වෙල්ගම රචකයාගේ පබැඳුමෙන් විශාරද සුනිල් එදිරිසිංහගේ ගායනයෙන් සහ දර්ශන රුවන් දිසානායකගේ සංගීත සංයෝජනයෙන් ඔප වැටුණු ප්‍රතිභාපුර්ණ ගීත නිර්මාණයක් සේ "මේ තරම් සියුමැලි ද කළුගල්" ගීතය හඳුනා ගත හැකි ය.
යුග යුග ගණන් මනුෂ්‍ය සංහතියේ සම්භාවනාවට, ඇගයුමට පත්‍ර වන ශ්‍රේෂ්ඨ නිර්මාපකයෝ අප අතර වෙති.ලක්දිව දක්නට ලැබෙන එවන් නිර්මාණ අතර සාගරය පරයා යන වැව්, මහා දාගැබ්, ප්‍රතිමා, සීගිරිය වැනි කලාගාර අපට හමු වේ. සමාධි පිළිමය, අව්කන පිළිමය, ඉසුරුමුණි කැටයම් වසර දහස් ගණනක් සිට ලෝ වැසි දනන්ගේ වන්දනාමානයට, සම්භාවනාවට, ඇගයුමට ලක් වෙමින් අද දක්වා ජීවමානව පවතියි. මෙවන් අග්‍රගන්‍ය කලාකෘතිවල සුන්දරත්වය, ලාලිත්‍ය ගීතවලින්, ගද්‍ය, පද්‍ය තුළින් අනාධිමත් කාලයක සිට වර්ණනාවට ලක් වෙමින් පවතියි. එසේ වුව ද එවන් උදාර කලා නිර්මාණ ලොවට දායාද කළ නිර්මාපකයන් පිළිබඳව කතා කරනුයේ අල්ප වශයෙනි.
ලෝ වැසි දන නුවන් වශී කළ බොදු දනන්ගේ හදවත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද කළ ශ්‍රේෂ්ඨ ශෛලමය අව්කන බුද්ධ ප්‍රතිමාව අභියස සිට රජිව් වසන්ත වෙල්ගමයෝ එම නිර්මාණය ලොවට දායාද කළ කලාකරුවා සොයා යති.
"මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අව්කන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා......//"
රළුපරළු කළු ගලකින් ඉතා මෙලෙක් මැටි පිඩකින් මෙන් නිමවා ඇති ඒ යෝධ බුදු බැඳ දුටු රචකයා කළුගල් "මේ තරම් සියුමැලි ද" යැයි මවිතයට පත් වෙයි. රචකයාට පමණක් නොව අපට ද අව්කන පිළිමය අභිමුවට ගිය විට දෙතිස්මහා පුරුෂ ලකුණෙන් හෙබි ඒ ශ්රේෂ්ඨයානන් මෙත් කරුණා ගුණය මූර්තිමත් කරමින් ඇති නිමැවුම දෙස බලන විට මවිතයට පත් වේ.වතින් නෙතින් මහා කරුණා ගුණය මූර්තිමත් කරන්නට මේ මහා ශිල්පියා තුළ තිබුණු ප්‍රතිභාව අනුපමේය වේ. ගී පද රචකයා මෙන් ම අප සිත් තුළ ද මේ නිර්මාණකරුවා පිළිබඳව මැවී ඇති චිත්ත රූපය නම් සමාජයේ ඉහළ ස්ථරයක වැජඹෙන රාජරාජ මහා අමත්යයාදීන්ගෙන් පිදුම් ලද සම්භාවනීය චරිතයක් වශයෙනි. රචකයා ගමන් කරනුයේ මේ මහා නිර්මාපකයා ඇති සුඛෝපභෝගී මන්දිරයක වසනු ඇතැයි යන කල්පනාවෙන් බව ගීතය ශ්‍රවණය වන විට අපට හැඟේ. එහෙත් ඔහු දුටු දසුන එවැන්නක් නොවේ.
"කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා.....//"
ඒ කලාකරුවා කොතරම් සරල ද? පද පෙළ මඟින් ඔහු අප සිත් තුළ මැවී පෙනෙයි.වියළි දේශගුණයක් පවතින කලාවැව ,අව්කන ප්‍රදේශවල ඉලුක් ,මානා වැනි වියළි දේශගුණයට ඔරොත්තු දෙන තෘණ වර්ග වැවේ. රචකයා මුණ ගැසෙන්නට ගිය මහා පෞර්ෂයකින් හෙබි ඒ ශ්‍රේෂ්ඨ නිර්මාපකයා සාමාන්‍ය ගැමියෙකි. ඔහුගේ නිවස ඉලුක් සෙවිල්ලන ලද එකකි. ඔහු මැටි පිලෙහි හිඳගෙන කලා වැවේ ඇති වන නැති වන දිය රැළි දෙස බලා සිටින අයුරු අප සිත්හි සංකල්ප රූප මවයි. කෙටි සරල වදන් පෙළකින් පද රචකයා බොහෝ දේ අපට කියයි.මේ මිහිමත පය ගසා සිටින සොබාදහම හොඳින් හඳුනා ගත් සරල දිවි පෙවෙතක් ගත කරන ප්‍රතිමා නිර්මාපක ගැමියා තම අතපයේ වේදනාව මඟ හැර ගැනීම සඳහා අතපය පිරිමදින අයුරු කදිමට අප සිත්හි මවා පායි. ගී පද රචකයා සොයා ගියා ප්රතාපවත් කලාකරුවා ඔහුට හමු නොවී ය. ඒ වෙනුවට ඔහුට හමු වුයේ අහිංසක අව්‍යාජ ගැමියෙකි. ඔහු ඒ ගමියාගෙන් පැනයක් අසයි.
"ඉසුරුමුණියේ ඔබ මැවූ ඒ
පෙම්බරිය කොයි දැයි කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා....//"
වසර දහස් ගණනක් තිස්සේ ලෝ වැසියන්ගේ ඇගයුමට ලක් වන අග්‍රගන්‍ය නූතන කලා නිර්මාණ බිහි කළ මේ මහා කලා ශිල්පියාගේ ප්‍රතිභාව නැතහොත් නිර්මාණාත්මක හැකියාව අන් කිසිවෙකුට සම කළ නොහැක. එතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් නිර්මාණ ශිල්පියාගේ ජීවිතය ප්‍රබල නිදහසක් වේ. ඔහු තවම තනිකඩයෙකි. සැබෑ කලාකරුවෝ තම නිර්මාණය වෙනුවෙන් වෙහෙසෙන විනා තම පෞද්ගලික යහපත වෙනුවෙන් කටයුතු කරන්නන් නොවන බව මින් කියැවේ. මේ නිර්මාණ ශිල්පියා තමන් තනිකඩ වීමෙන් පසුතැවීමට ලක් නොවන බව අහිංසක සිනාවක් පාමින් ප්‍රකාශ කිරීම තුළින් ම පැහැදිලි වේ. සැබෑ කලාකරුවකු තුළ පවත්නා උදාරත්වය වචන කිහිපයකින් විසද කර පෙන්වීමට ගීත රචකයා සමත් වී ඇත.
පබැඳුමේ හරය තව තවත් තීව්ර කරමින් විශාරද දර්ශන රුවන් දිසානායකයන් ඊට සංගීතය මුසු කර ඇත. යොදාගත් වාද්‍ය භාණ්ඩයන්ගෙන් තනුවෙහි අර්ථය තව තවත් සුපෝෂණය වේ. පදමාලාව, තනුව අර්ථ ගන්වමින් විශාරද සුනිල් එදිරිසිංහගේ මනා හඬ පෞරුෂයත් සමඟ සුසංයෝජනය වී කදිම ගීත නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් වර්තමානයෙහි "මේ තරම් සියුමැලි ද කළුගල් " ගීතය අග්‍රගන්‍ය ගීතයක් සේ විදග්ධ රසික විචාරක සිත් දිනමින් සිංහල ගීත සාහිත්‍යයේ ස්වර්ණ රේඛාවක් සේ බබළයි.

කොපමණ රසවින්දත් එපා නොවෙන කලාත්මක ගීයකි. 🥺❤️
ReplyDelete🧡
ReplyDelete