සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි...










             මහාචාර්ය සුනිල් ආරියරත්න නම් වූ යුග පුරුෂයාණන්ගේ ගේය පබැඳුමට ස්ටැන්ලි පීරිස් සංගීත වේදියානන්ගේ සත්සර සුසංයෝග කොට විශාරද නන්දා මාලනනීගේ හැඟුම්බර ගායනයෙන් සුපෝෂිත ගීතයක් ලෙස "සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි" යන ගීතය හඳුන්වා දිය හැකි ය.

               සර්ව කාලීන සර්ව භෞමික  වැදගත්කමකින් යුතු තේමාවක් ඔස්සේ මෙම ගීතය නිර්මාණය වී ඇත. මේ ලෝකයේ සෑම ප්‍රදේශයක ම වැසියෝ නොයෙකුත් පටු සීමාවලින් බෙදී එකිනෙකාට සතුරුව යුධ වැදීම, හුළල් කා ගැනීම පිලිබඳ පුවත් නිතර අප හට අසන්නට ලැබේ. ලක්දිවේ වසන ලාංකිකයෝ ද ජාති වශයෙන් බෙදී ඔවුනොවුන් හා ගැටෙද්දී ඒ දෙස සානුකම්පිතව බලා ඔවුන්ගේ සිත් මෙතින් පුරවා සමඟි දාමයෙන් බැඳීමට ගන්නා ප්‍රබල උත්සාහයක්‌ මෙම ගීතයෙන් ධ්වනිත කෙරේ.මේ වන විට ලක්දිවට අති වී තිබෙන තත්වය දෙස බලන විට ද මෙම ගීතයේ අගය ඉහළ යයි.

     සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි

     බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනි

     එකම රටක ඉපිද ගැටෙමු මියෙමු යුධ වැදී

     සතුරු කැලත සදළු තලයේ ඉඳිති මදු බිබී...

             

               කාටත් තේරුම් යන සරල බස් වහරකින් මෙමෙ ගීතය රචනා වී ඇත. ව්‍යංගාර්ථ ධ්වනිතාර්ථ බහුලව නැත ද ලාංකිකයන් අවධි කොට සමඟි දාමයෙන් බැඳීමට මෙම ගීතය ඉවහල් වන බව මගේ හැඟීම යි. සිහල ද්‍රවිඩ මුස්ලිම් සියල්ලෝ ම කල්‍යාණ මුතුරන් සේ දකියි. සියලු ආගමිකයෝ එකම සොයුරු පිරිසකි. එවන් සොයුරන් එවන් කල්‍යාණ මිතුරන් ගැටී යුධ වදින්නේ කුමකට දැයි ආසයි. කල්‍යාණ මිතුරන් යුධ වදිද්දී ලාංකිකයන්ට සතුරු වන්නන් සතුටු වන බව ඉදිරිපත් කරන්නේ කදිම කාව්‍ය සංකල්පනාවකිනි."සතුරු කැලත සදළු තලෙහි හිඳිති මදු බිබී ".ලාංකිකයන්ට සතුරු වන්නන් සතුරු කලතක් සේ රචකයා දකියි. ඉන් නැගෙන්නේ රචකයා තුළ ලාංකිකයන්ට සතුරු වන්නන් කෙරෙහි පවත්නා පිළිකුල් සහගත ආකල්පය යි. සදළුතලය වූ කලී ඉහලින් තිබෙන්නකි. අප අභිබවා ගොස් සිටින රටවල් අප යුධ වදින විට ඉහලින් වැජඹී සතුටු වන ආකාරය "සදළු තලෙහි හිඳිති මධු බිබී "යන්නෙන් ධ්වනිත කෙරේ. අප එකිනෙකා යුධ වදින විට සතුරන්ට එය විනෝදයක් වී ඇත.

         සිහල අපට අදම සිහල මුර්ගයෝ වෙති

         තොපටද මුස්ලිම් ද්‍රාවිඩ් ද්‍රෝහියෝ වෙති

         උන්ය අපට තොපට සතුරු පිරිස මිතුරනි

        සදා පෙලෙන තොපද අපද කුමට එරෙහි වී...

  

         ලෝකයේ කාටත් විරුද්ධ වන්නෝ සිටිති. ලංකාවේ සිටින සිහල ද්‍රවිඩ මුස්ලිම් ආදී සියලු ජාතීන්ට ද්‍රෝහී වන්නෝ ද සිටිති. රචකයාගේ පබැඳුමට නන්දා මාලිනීගේ ස්වරයෙන් කියැවෙන්නේ මෙසේ ද්‍රෝහී වන්නන් පහත් ගති ලක්ෂණ ඇති අධම ගති ලක්ෂණ ඇති තිරිසනුන් බවයි. මුර්ගයින්ට හිතක් පපුවක් නැත. ගුණ ධර්මයන්හි නොපිහිටයි. ආගමික ඉගැන්වීම් නොසලකයි. ලෙහි මෙත් කරුණාවක් නැත. අප යුධ වදින තුරු බලා සිටින්නේ ඒ මුර්ගයෝ ය. මෙත් කුළුනින් තෙමා ගිය ස්වරයකින් නන්දා මාලිනිය ඉතා සෙනෙහසින් ලාංකිකයන් අමතමින් අප එකිනෙකා යුධ වදින්නේ කුමට දැයි ආසයි.අප සියලු දෙනා එකම පන්තියේ පිරිසක් බවත් අප සියලු දෙනා සදා පෙලෙන ධර්මතාවන් රැසක් පවතින බවත් මින් හැඟ වේ. කුසගින්න්, පිපාසය, දුක්දොම්නස් ආදියෙන් අප සියල්ලෝ ම සදා කල්හි ම පෙලෙමු. එකිනෙකාට සතුරු වීම නොව මේ අභියෝගයන් දුක්දෝමනස්වලින් මිදීමට පෙළගැසීම වඩාත් වැදගත් වන බව ව්‍යංගයෙන් අපට කියියි. මනසින් උසස් වූ මිනිස්සු තිරිසනුන් වීම නොහොඹී යන්න ගීතයෙන් අවධාරනය කෙරේ.

     

කැතිද පොලුද මුගුරුද ගෙන සොයුරු ප්‍රේමයෙන්

පිබිද එන්න උතුරු දකුණු සකල දේශයෙන්

නසා අපද තොපද පෙළෙන රුපුන් ක්‍රෝධයෙන්

නිරයක් වූ දේශය රැක ගනිමු ආලයෙන්....


         අප කැති පොලු මුගුරු ගත යුත්තේ සහෝදරයන් වූ කල්‍යාණ මිතුරන් වූ අපි අප ම විනාශ කර ගැනීමට නොව ශ්‍රී ලංකික අපට ද්‍රෝහී වන බලවේගයන් පරාජය කිරීමට බව ගීතයෙන් කියැ වේ. ලක්දිව හැම පසෙහිම වෙසෙන්නේ එක ම සොයුරු පිරිසකි. ඒ සියලු දෙනාම සතුරු බලවේග ජය ගැනීම සඳහා ජවයෙන් ඉදිරියට ආ යුතු බව "පිබිද එන්න උතුරු දකුණු සකල දේශයෙන් " යන්නෙන් ධ්වනිත කෙරේ. ශ්‍රී ලාංකිකයන් පෙලීමට ශ්‍රී ලාංකිකයන් මැඩීමට සතුරෝ ක්‍රෝධයෙන් බලා සිටිති.එම බලවේගයන් අප සියලු දෙනා ම එක්ව නැසිය යුතු බව අවේගශීලිව නන්දා මාලනියගේ ඔද වැඩුණු ගායනයෙන් අප හදවත් පුබුදුවමින් ඉස්මතු කෙරේ. නිරයක් වූ දේශය යන රූපකයෙන් වත්මනෙහි රට වැටී ඇති අගාධය ගැන කියැ වේ. නිරයක සැපක් නැත. සතරතින් ඇසෙන්නේ දුක් වේදනා වැළපිලි ය. ගිනි දළු නගී සත්ත්වයින් පෙළයි දවයි. ලංකාව ද පත් වී ඇත්තේ එවන් ඉරණමකට බව මෙහිදී කියැ වේ. නිරය සුර ලොවක් කර ගැනීමට නම් අප එකිනෙකා යුධ වැදෙනු අතැර සමඟියෙන් බැඳී කටයුතු කළ යුතු බව දයාර්ධ හදවතින් යුතුව නන්දා මාලනී කියන්නේ "නිරයක් වූ දේශය රැක ගනිමු ආලයෙන්"යනුවෙනි. සියලු දෙනා ම මම යන හැඟීමෙන් නොව අපි යන හැඟීමෙන් කටයුතු කළ යුතු බව "රැක ගනිමු " යන උත්තම පුරුෂ බහු වචන අඛ්‍යාතයෙන් අවධාරනය කෙරේ.

                පබැඳුම තුළ ඇත්තේ සරල බස් වහරකි. එහි ආයාසයෙන් අරුත් පසිඳලීමට තරම් වක්‍රෝක්ති ව්‍යංගාර්ථ නැත ද යොදා ඇති සරල කාව්‍ය සංකල්පනා ඔස්සේ ලාංකිකයින් අවධි කරවමින් කාලීන අවශ්‍යතාක්‌ සපුරාලීමට කතුවරයාගේ මනස යොමුව ඇති බව අපට පෙනේ.නන්දා මලනිය ද ලබැඳි ගායනයෙන් ශ්‍රාවකයාගේ සිත් සතන් බැඳගෙන ශ්‍රාවක සිත් අවධි කරවමින් ශ්‍රී ලාංකිකයන්ට පුනර්ජීවනයක් ලබා දීමට කදිම උත්සහයක් දරා ඇති බව ද අපට හැඟේ. පද මාලාවෙන් ධ්වනිත අදහස මනාකොට ශ්‍රාවකයා වෙත ගෙන යන්නට ස්ටැන්ලි පීරිස් නම් සංගීත වේදියානන්ගේ සංගීතය ද හේතු වී ඇති බව ගීතය ශ්‍රවණය වන විට අපට දැනේ. විවිධ වකවානුවලදී කවියෝ, ලේඛකයෝ කළ කාලීන මෙහෙවර ම මෙම සුනිල් ආරියරත්නයන් නම් වූ ගේය කාව්‍ය රචකයාගේත් හඬ මාධූර්යෙන් යුත් නන්දා මලිනියගේත් ස්ටැන්ලි පීරිස් නම් වූ සංගීත වේදියානන්ගේත් සුසන්යෝජනයෙන් සිදු වී ඇති බව ගීතය සවනට වකෙද්දී අපට හැඟේ.


🌼ජාතික සාහිත්‍ය උළෙල -2019.

🌼ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

🌼ගී රසවින්දනය-ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය.

Comments

  1. ජාති භේදයකින් තොරව සියලුදෙනා මිතුරන් වේ. හිතට දැනෙනෙ ලස්සන ගී පද පෙළක් 🥺❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...