හිරු උදාව 🌄
තරු පිරිවරාගන ගණ අඳුර නෑසූ සඳ දෙව්දුව රෑ අහස අලංකාර කළ තාරකාවන් සමඟ පලා යන්නට සැරසෙයි. කදලිවල සීතලට ගුලි වී සිටි විහඟුන් පෙර සිරිතට ම උදෑසන අවදි වී ගී පද බඳින්නට විය. කන් පිනවන කූජනයන්ගෙන් පිනා ගිය දෙසවන් උදේ රැයින් ම මාව අවදි කළේ ය. කඳු මුදුන මතින් දිස්නය දෙන එළියෙන් හිරුගේ පැමිණීම ලොවට ම කියාපායි.
මුළු පරිසරය ම සමකාමී බවක් දක්නට ඇත. සීතල සුළං රැළි දසදෙස හමා යයි. හිරු උදාවට තැන දී සැඟ වුණු සඳ දෙව්දුව සහ තණ පත් මතට ඉසින ලද දිලිසෙන පිනි බිඳු තව ම මැකී ගොස් නැත. හිරුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින අහස නෙතට සුවයක් ගෙනෙයි. එසේ ම කුරුලු හඬට මුසු වී එන කුකුළන්ගේ උදා ගීතය ද අමුතු මිහිරියාවක් ගෙන එයි.
පෙරදිග අහස අරුණෝදයේ පෙර මඟ ලකුණු දනවමින් ඇත. කෙමෙන් කෙමෙන් ළා හිරු කිරණ තුරුපත් අතරින් එබී බලමින් සිටියි. මුළු අහස ම අමුතු ම ප්රබෝධයකින් ඉපිලී යයි. තුරු අතරින් තණපත් මතට වැටෙන සෞම්‍ය වූ හිරු රැස් දහර විසිතුරු සිතුවමක් කළා වැනි ය.
සොබාදහම කොතරම් අපූරු සිදුවීම් අපට ගෙනෙනවා දැයි කීමට අරුණෝදය පමණක් ම සෑහේ. පෙනෙන තෙක්මානයක අති නිල්ල පිරුණු කෙත් යාය අරුණෝදයෙන් හිනැහෙයි. ළා හිරු කිරණ සිප ගනිමින් තාලයකට නැළවෙයි. පැලපත පෝෂණය කළ ජල තලය මත වැටුණු ළා හිරු රැස් මුළු පරිසරය ම බබළවයි.දකින්නකුගේ ඇසට සිසිලස ගෙන දෙන්නේ සුළඟට නැළවෙන නිල් ගොයම ගොවියාට අත වනන්නාක් වැනි ය. අහර සොයා පියඹන කුරුල්ලෝ ද රැකියා බලා දිවෙන මිනිස්සු ද හිරුගේ අවදියෙන් ප්රබෝධය ලබති. සියලු ජීවීන්ගේ පැවැත්ම හිරු කුමරාට පැවරී ඇත. පිච්ච, ඉද්ද, රෝස ආදී වූ සිය ගණනක් පුෂ්ප විකසිත වන්නේ හිරු රැස් සිප ගනිමින් ය.මේ උදේ සිරිය වචනවලින් විස්තර කිරීමට හැකි වේ දැයි මම නොදනිමි.
හිමිදිරි උදයේ විඳගත හැකි ස්වභාව සෞන්දර්ය ගී පදයකට මිමිනීමට තරම් අලංකාර ය. කවීහු එහි අලංකාරයෙන් මත් වී ගී පද බැන්ඳහ. හිරු රශ්මියෙන් නෑවෙන ගස්වල ළා දලු තාලයට නැළවෙන්නේ නැටුමක් ලෙස ය. විහඟයෝ ද ඒ තාලයට ම ගී පද බඳිති. පරිසරය පුරා රැව්දෙන මේ මිහිරියාවන් එකට කැටි ව අමුතු ම හැඟීමක් අපට දනවයි.සොබාදහමේ ජීවමාන කෞතුකාගාරයක් බඳු සූර්යෝදය අප හැම නැවුම් දිනකට කැටුව යයි.
සෑම දිනක ම අපට නැවුම් බලාපොරොත්තු ගෙන එන්නේ හිරු උදාවයි. කිසිම දිනක අපව අමතක නොකොට ඉරු දෙවි අහසට වඩියි. මුළු ලොවක ඇති මල් පුබුදුවයි. සියලු සතුන් අවදි කරවයි. තුරුලතාවලට ප්‍රාණය දෙයි.නැවුම් සොඳුරු දිනක් මවයි. ලෝ වැසි සැමට දීර්ඝායු ගෙනෙයි.මේ අසිරිමත් හිරු උදාවයි.

හිරු කිරණින් ආලෝකමත් වන කුරුලු හඩින් පරිසරය ගීතවත් කරන සුන්දර හිමිදිරිය චමත්කාර දසුනකි. 🌞🌸
ReplyDelete💛
ReplyDelete