මින්නේරි හත් රජ්ජුරුවෝ...
(අපේ ගමේ කිරි ඉසීමේ මංගල්‍යය)
ශ්‍රී ලංකාද්වීපයේ රජ කළ ගෝඨාභය රජුගේ පුත්රුවන වන මහසෙන් රජතුමා ක්‍රි. ව.236 දී ජෙට්ඨතිස්ස රජුගෙන් පසු රජ විය. පසුව සංඝමිත්‍ර භික්ෂුවගේ උපදෙස් මත මහා විහාරය විනාශ කළ බව මහාවංශයේ කියැවේ. එතුමාගේ ක්‍රියා කලාපය වැරදි යැයි වැටහී පසුව ථේරවාදය පිළිබඳව පැහැදී ජේතවන විහාරය ආදී විහාර රැසක් කරවා ඇත.තවද රට සහලින් ස්වයන්පෝෂණ කිරීම සඳහා "මින්නේරි, මාගල්ල, කවුඩුළු, මාමිණියව, මහගල් කඩවල, හුළුගල්ල, කලපාසාන, නීරාමුල්ල (කිඹුල්වාන වැව ) ආදී වැව් දහසක් ඉදි කළ අතර පබ්බතන්න ඇළ ඇතුළු ඇළ මාර්ග රැසක් ඉදි කර පැවති ඇළ මාර්ග දිගු කළේ ය. මෙතුමා රටට ජනතාවට කළ අපරිමිත මෙහෙය නිසාවෙන් "මින්නේරි දෙවියන්, මහසෙන් දෙවියන්, හත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් " යනාදී ගෞරව නාමයන්ගෙන් ලාංකික ගැමි ජනතාව අතින් පිදුම් ලබයි.
මා ජිවත් වන දිද්දෙණිය නම් සොඳුරු ග්‍රාමයේ ද "හත් රජ්ජුරු බණ්ඩාර හෙවත් මහසෙන් දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවෙත් වේ.
මගේ මේ ගම් පියස ද අනුරාධපුර යුගය දක්වා ඉතිහාසයක් ඇති ඉපැරණි ගමකි. මගේ ගම් ප්‍රදේශය ඓතිහාසික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් උසුලයි. ගමට නිරිත දෙසින් මහසෙන් රජු විසින් ඉදි කරන ලද සාගරය පරයා යන කිඹුල්වානා වැව පිහිටා ඇත. ගම මාධ්‍යයෙහි රජ සමයේ ඉදි කරන ලද කඳ දෙවොලකි. පුරාණයේ මෙහි ශිව දෙවියන් අදහා ඇති බවට සාක්ෂි හමු වී තිබේ.
වර්තමානයේ කඳ සුරිඳුන් පිදීම මෙන් ම බණ්ඩාර දෙවිවරු හත් කට්ටුවක් උදෙසා ද වාර්ෂිකව දේවාලයේ මංගල්‍යය පහක් පැවැත් වේ. එහි සුවිශේෂී මංගල්‍යයක් වන නානුමුර මංගල්‍යය, කිරි ඉසීමේ මංගල්‍යය, ගල් මංගල්‍යය යනුවෙන් හඳුන්වන එකම දිනයේ පවත්වන මංගල්‍යය ත්‍රිත්වයකි.
කිරි ඉසීමේ මංගල්‍යය හත් රජ්ජුරුවන් හෙවත් මින්නේරි දෙවියන් හා ගලේ දෙවියන් අරමුණු කරගෙන පැවැත් වෙන්නකි. මංගල්‍යය දිනයේ සියලු දේවාභරණ නානුමුර කිරීමෙන් පිරිසිදු කළ (ඖෂධීය නනුවලින් පිරිසිදු කිරීම ) පසුව මින්නේරි හත් රජ්ජුරුවන් ආරුඪ කරවා දේවල මළුවෙහි ළිප් සතක් බැඳ කිරි උතුරවයි. මෙම මුට්ටිවලට පොල් කිරිවලට අමතරව එළකිරි ද දමනු ලැබේ. කිරි මුට්ටි සතෙන් මැද මුට්ටිය හත් රජ්ජුරුවන්ට අයත් වන අතර සෙසු මුට්ටි හය සෙසු බණ්ඩාර දෙවිවරුන් වෙනුවෙනි.
හත් රජ්ජුරුවන් මුල් කරගනිමින් ගැමියන් විසින් සිදු කරන මෙම මංගල්‍යයන් ගම බතබුලතින් සරු වී සශ්‍රිකත්වය උදා වන බව ගැමි විශ්වාසය යි. දරුණු ලෙඩක් සෑදුණු අවස්ථාවලදී මින්නේරි හත් රජ්ජුරුවන් ආරුඪ කරවා අතින් පිස ලෙඩ සුව කර ඇත. අදත් ඇතැම් අවස්ථාවලදී එසේ සිදු කෙරේ.
🌼සිළුමිණ පුවත්පත 🌼
(සිත්මල් යාය - ළහිරු මඬල )


Comments
Post a Comment